වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, පිටස්තර උපදේශකයන් සහ බාහිර උපදේශක සමාගම් සඳහා වැය කරන මුදලින් ඩොලර් මිලියන 70ක් කැපා හැරීමටයි රජය තීරණය කර ඇත්තේ.
රාජ්‍ය සේවයේ පවතින දක්ෂතාවලට මුල්තැන දෙමින්, අත්‍යවශ්‍ය නොවන බාහිර උපදේශක සේවාවන් සීමා කිරීම මෙමගින් සිදු කෙරෙනවා.
මේ අතර රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයන් සඳහා අනවශ්‍ය ලෙස මුද්‍රණය කරන ඇඳුම්, ප්‍රචාරක ද්‍රව්‍ය මෙන්ම දේශපාලඥයන්ගේ නම් සහිත ලෝකඩ පුවරු (Bronze plaques) සඳහා මුදල් වෙන්කිරීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දී තිබෙනවා.
මීට අමතරව, Silver Review මගින් ලබාදුන් නිර්දේශයන්ට අනුව, එකම කාර්යය දෙපොළක සිදුවීම (Duplication) වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන සහ මණ්ඩල 29ක් වසා දැමීමට හෝ වෙනත් ප්‍රධාන දෙපාර්තමේන්තු සමඟ ඒකාබද්ධ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
මුදල් අමාත්‍ය Enver Erdogan සඳහන් කළේ මෙම සියලු පියවර ඔස්සේ අනවශ්‍ය නාස්තිය අවම කර, මහජනතාව සඳහා වන සෘජු සේවාවන් වෙනුවෙන් රාජ්‍ය මුදල් උපරිමයෙන් යෙදවීමට රජය කැපවන බවයි.









