ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි පළකර සිටිනවා.
ජූලි මාසය සඳහා නිකුත් වූ උද්ධමන සංඛ්‍යාලේඛන අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් සංචිත බැංකුව (RBA) නිල ණය පොලී අනුපාතය 4.6% දක්වා වැඩි කිරීමට පෙළඹෙනු ඇති බවයි එම බැංකු පවසන්නේ.
ජූලි මාසයෙන් අවසන් වූ මාස 12 සඳහා ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 3.5%ක් ලෙස සටහන් වී ඇති අතර, එය සංචිත බැංකුවේ ඉලක්කගත 2% ත් 3% ත් අතර සීමාවට වඩා ඉහළ අගයක්.
නව නිවාස ඉදිකිරීම් පිරිවැය 5.7%කින්, ආපනශාලා හා සූදානම් කළ ආහාර මිල ගණන් 4.5%කින් සහ ඉන්ධන මිල 7.5%කින් ඉහළ යාම මෙම උද්ධමන වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.
මෙලෙස නොවැම්බර් මාසයේදී පොලී අනුපාතය ඉහළ ගියහොත්, එය 2011 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවේ වාර්තා වන ඉහළම නිල ණය පොලී අනුපාතය වනු ඇති.
මේ අතර Canstar දත්ත මගින් පෙන්වා දෙන්නේ ඩොලර් 600,000ක නිවාස ණයක් හිමි පුද්ගලයෙකුගේ මාසික වාරිකය ඩොලර් 91කින් ඉහළ යන අතර, ඩොලර් මිලියනයක නිවාස ණයක් සඳහා මසකට ඩොලර් 152ක අමතර මුදලක් ගෙවීමට සිදුවන බවයි.









