ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා.
ව්‍යාපාර, අධ්‍යාපන, සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණ සහ සංග්‍රහශීලී සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකය ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයින් සිය දායකත්වය සපයමින් සිටිනවා.
සංගණන දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ උපත ලබා ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින සංඛ්‍යාව 131,904ක් වන අතර ඉන් 66.7%ක් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති අයයි.
එම සංඛ්‍යාව 88,000කට ආසන්න වනවා.
ඔස්ට්‍රේලියාවේදී සහ විදේශයන්හිදී උපත ලබා ශ්‍රී ලාංකික උරුමයන් (Sri Lankan ancestry) සහිත පුද්ගලයින් 95,948 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඒ අනුව මුළු ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු ප්‍රජාව මීට වඩා බෙහෙවින් විශාල වනවා.
ප්‍රාන්ත මට්ටමින් සැලකීමේදී වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිසක් වෙසෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර, එහි ලංකාවේ උපත ලැබූවන් 68,071ක් පදිංචිව සිටිනවා.
ඉන් 65,163ක්ම මෙල්බන් නගරය ආශ්‍රිතව ජීවත් වනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 31,429ක් වෙසෙන අතර ඉන් 28,000කට වැඩි පිරිසක් සිඩ්නි නගරයේ වාසය කරනවා.
ඊට අමතරව බටහිර ඔස්ට්‍රේලියාව, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් ප්‍රාන්ත පුරා ද ලාංකික ප්‍රජාව ව්‍යාප්තව සිටිනවා.









