ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත් දැඩි විවාදයකට ලක්ව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසන්නේ බොහෝ විදේශීය සිසුන් තම අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු නැවත තම රටවල් වෙත යන බවයි.
නමුත් Jobs and Skills Australia 2025 වාර්තාවක් අනුව, අධ්‍යාපනය අවසන් කළ පසුවත් සැලකිය යුතු විදේශීය උපාධිධාරීන් පිරිසක් ඔස්ට්‍රේලියාව තුළ තවදුරටත් රැඳී සිටින බව පෙන්වා දී තිබෙනවා.
ඒ අතරින් බොහෝ දෙනෙක් අධ්‍යාපනයෙන් පසු ලබාගත හැකි තාවකාලික වීසා, පුහුණු රැකියා සහ සුදුසුකම් මත ලබාගත හැකි වෙනත් වීසා මාර්ග භාවිත කරනවා.
විශේෂයෙන් හෙද සේවය, සෞඛ්‍ය, ආහාර සේවා සහ කුසලතා හිඟයක් ඇති වෘත්තීන්වල සිටින උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාගැනීමට වැඩි අවස්ථා තිබෙන බවද වාර්තාව පෙන්වනවා.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටින හැම විදේශීය උපාධිධාරියෙකුටම තම සුදුසුකමට ගැලපෙන රැකියාවක් ලැබෙන්නේ නැහැ.
වාර්තාවට අනුව සැලකිය යුතු පිරිසක් තම අධ්‍යාපන මට්ටමට වඩා පහළ රැකියාවල නිරත වන අතර, දේශීය උපාධිධාරීන්ට වඩා අඩු ආදායමක් ලැබෙන අවස්ථාද පවතිනවා.
විදේශීය සිසුන්ගෙන් බොහෝ දෙනෙකු ඔස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා පැමිණීමේදී අනාගතයේ මෙරට රැකියාවක් හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමේ බලාපොරොත්තුවත් සලකා බලන බවද අධ්‍යයනයෙන් පෙන්වා දෙනවා.
ඒත් ශිෂ්‍ය වීසා ලබාගැනීමෙන් පමණක් ස්ථිර පදිංචිය ස්වයංක්‍රීයව ලැබෙන්නේ නැති අතර, ඒ සඳහා වෙනම වීසා නීති සහ සුදුසුකම් සපුරාලිය යුතුයි.
මේ නිසා දැන් ඇති ප්‍රධාන විවාදය වන්නේ ඔස්ට්‍රේලියාවට අවශ්‍ය කුසලතා ඇති උපාධිධාරීන් රඳවාගනිමින්, වීසා පද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම පාලනය කරන්නේ කෙසේද යන්නයි.









