මෙල්බන් නගරයේ පිහිටි VICSES Essendon Unit කාර්යාලයකට අයත් අත්‍යවශ්‍ය ආපදා ගැලවීමේ උපකරණ රැසක් සොරකම් කර තිබෙන බව පොලීසිය පවසනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පෙබරවාරි 25 වැනි බදාදා උදෑසන 1.00ට පමණ, Rutherford Street, Aberfeldie හි පිහිටි එම මධ්‍යස්ථානයට පැමිණි සොරුන් හතර දෙනෙකු විසින් බවයි CCTV මගින් අනාවරණය වී ඇත්තේ.
මුහුණු ආවරණ පැළඳ සිටි, පිරිමි ලෙස සැලකෙන සැකකරුවන් උපකරණ ගබඩාව කඩමින් chainsaw, විදුලි උපකරණ, ආරක්ෂක පටි, රේඩියෝ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් සොරකම් කර තිබෙනවා.
ඔවුන් උදෑසන 1.10ට පමණ පිටව ගොස් තිබුණද, සැකකරුවන් දෙදෙනෙකු නැවත උදෑසන 2.30ට පමණ පැමිණ තවත් උපකරණ සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන්නේ සොරකම් කළ උපකරණවල වටිනාකම ඩොලර් 40,000 කට අධික වන අතර, ඒවා ගංවතුර, කුණාටු හා අනෙකුත් හදිසි අවස්ථාවලදී ස්වේච්ඡා සේවකයින්ට අත්‍යවශ්‍ය උපකරණ වනවා.
සිද්ධියට අදාළව සැකකරුවන් සිව්දෙනාගේ ඡායාරූප නිකුත් කර ඇති අතර, තොරතුරු ඇති ඕනෑම අයෙකුට Crime Stoppers Victoria වෙත 1800 333 000 අංකයට හෝ ඔන්ලයින් මගින් දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.









