වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි කාලයක් ලබාදෙන Midday Power Saver වැඩසටහන ආරම්භ වෙනවා.
මෙම සැලැස්ම සතියේ දින හතම ක්‍රියාත්මක වන අතර, එක් දිනකට විදුලි ඒකක 24ක් දක්වා නොමිලේ භාවිත කිරීමට හැකි බවයි වික්ටෝරියා රජය තහවුරු කර ඇත්තේ.
Smart meter එකක් ඇති නිවාසවලට ස්වේච්ඡාවෙන් මේ සැලැස්මට එක්විය හැකි අතර, පාරිභෝගිකයින් 1,000කට වැඩි සංඛ්‍යාවක් ඇති විදුලි සැපයුම්කරුවන්ට මෙම සැලැස්ම ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.
වික්ටෝරියා නිවාස මිලියන 2.6කට පමණ මෙම සැලැස්මට සුදුසුකම් ලැබිය හැකි බව රජය පවසනවා.
රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර, උණු ජල පද්ධති, නිවසේ බැටරි සහ විදුලි වාහන ආරෝපණය මධ්‍යහ්න කාලයට මාරු කළ හැකි පවුල්වලට වසරකට ඩොලර් 149 සිට 428 දක්වා ඉතිරි කරගත හැකි අතර, විදුලි වාහනයක් ඇති නිවාසවලට ඩොලර් 1,102 දක්වා ඉතිරි විය හැකි බව නව ගණනය කිරීම් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, උදේ 11 සිට පස්වරු 2 දක්වා විදුලි භාවිතය මාරු කළ නොහැකි පවුල්වලට මේ සැලැස්මෙන් වාසියක් නොලැබීමට හෝ වෙනත් වේලාවල වැඩි ගාස්තු ගෙවීමට සිදුවිය හැකි බවයි රජය අනතුරු අඟවන්නේ.
ඒ නිසා ඔක්තෝබර් 1 සිට තම විදුලි සැපයුම්කරු අමතා, තම නිවසට මෙම සැලැස්ම ගැළපෙනවාද යන්න පරීක්ෂා කර පසුව එක්වන ලෙස ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.








