ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය කඩා වැටීමට උත්සාහ කළ බව ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ප්‍රකාශ කර තිබෙනවා.
මගීන් සහ කාර්ය මණ්ඩලය මැදිහත් වී සැකකරු පාලනය කර ඇති අතර, යානය පසුව සෞදි අරාබියේ Tabuk ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.
සිද්ධියෙන් ගුවන් නියමුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර, සැකකාර ගුවන් නියමුවා සෞදි බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
සිද්ධිය අතරතුර යානය හදිසි සංඥාවක් නිකුත් කර වේගයෙන් පහළ බැස ඇති අතර, මුලදී පැහැරගැනීමක් සිදුව ඇති බවටද සැක මතුව තිබුණා.
Netanyahu පවසන්නේ මගීන් සහ Flydubai කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් විශාල අනතුරක් වැළැක්වූ බවයි; කෙසේ වෙතත් සිද්ධියේ සැබෑ අරමුණ තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.
Flydubai සමාගමද හේතුව සහ අරමුණ පිළිබඳ විමර්ශනය තවමත් සිදුවන බැවින් අනුමානවලට නොයන්නැයි ඉල්ලා තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසු ඊශ්‍රායලයට පැමිණෙන ගුවන් නියමුවන් සඳහා ආරක්ෂක පරීක්ෂණ තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන බවයි ඊශ්‍රායල අගමැති කාර්යාලය ප්‍රකාශ කර තිබෙන්නේ.








