ශ්‍රී ලංකාවේ නිවාසවල හුදෙකලාව ජීවත් වන වයෝවෘද්ධ වැඩිහිටියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අද දිනයේ ඉතාමත් සංවේදී සහ අත්‍යවශ්‍ය ජාතික කාර්යයක් බව ශ්‍රී ලංකා පොලිසිය පවසා තිබෙනවා.
දරුවන් රැකියා සඳහා විදේශගත වීම හෝ වෙනත් ප්‍රදේශවල පදිංචි වීම හේතුවෙන් මෙවැනි වැඩිහිටියන් අවදානමට ලක්වන අවස්ථා ඉහළ ගොස් ඇති බවටයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරන්නේ.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙවැනි හුදෙකලා නිවාස ඉලක්ක කර කොල්ලකෑම් සිදුකරන අතර, ඇතැම් අවස්ථාවල එය ඝාතන දක්වා වර්ධනය විය හැකි බවද පොලිසිය අනතුරු අඟවනවා.
ඒ අනුව, රාත්‍රී කාලයේ නිවාස වටා හොඳ ආලෝකය සැලසීම, පහසුවෙන් භාවිත කළ හැකි ජංගම දුරකථන ලබා දීම සහ හදිසි ඇමතුම් අංක ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බවටයි පොලිසිය පෙන්වා දෙන්නේ.
එමෙන්ම, අසල්වැසියන් සමඟ සබඳතා ශක්තිමත් කරගෙන අන්‍යෝන්‍ය ආරක්ෂාව වැඩිදියුණු කරන ලෙසත්, හුදෙකලා වැඩිහිටියන් පිළිබඳව ග්‍රාම නිලධාරී හා ප්‍රජා පොලිස් කමිටුව දැනුවත් කර තැබීම වැදගත් බවටද ඔවුන් අවධාරණය කරනු ඇති.
බාහිර රැකවරණ සේවා හෝ ගෘහ සේවකයන් භාවිත කිරීමේදී ඔවුන්ගේ පසුබිම සනාථ කර පොලිස් වාර්තා ලබාගෙන පමණක් සේවය ලබාගන්නා ලෙස ද පොලිසිය මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.









