ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල මූල්‍ය ඉලක්කයක් තබාගෙන තිබෙනවා.
ඔහු වසර 16කට පෙර තම පවුල සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, එදා සිට ඔවුන් එකම කුලී නිවසක ජීවත් වන බවයි ඔහු SBS වෙත පවසා සිටියේ.
Sydney නගරයේ ණය සහ මූල්‍ය උපදේශකයෙකු ලෙස සේවය කරන ඉනොෂ්, තම අවසාන ඉලක්කය ලෙස ඩොලර් මිලියන 3ක නිවසක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා ඉදිරි වසර 10 තුළ ඩොලර් 600,000ක තැන්පතුවක් ඉතිරි කරගැනීම ඔහුගේ සැලැස්මයි.
තරුණ වියේදීම දැඩි ලෙස මුදල් ඉතිරි කිරීමට පටන්ගත් ඉනොෂ්, මීට වසර දෙකකට පෙර Sydney හි apartment එකක්ද මිලදීගෙන තිබෙනවා.
දැනට ඔහු එම apartment එක කුලියට දී, තම දෙමාපියන් සමඟ ජීවත් වෙමින් තම ඉදිරි නිවාස ඉලක්කය සඳහා මුදල් ඉතිරි කරන බවයි ඔහු SBS මාධ්‍ය වෙත සඳහන් කළේ.
ඔහු පවසන්නේ සංක්‍රමණික පවුලක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි විට තම පවුලට “මුල සිටම” ජීවිතය ගොඩනඟා ගැනීමට සිදුවූ බවයි.
පවුල් උරුම වත්කම් හෝ දෙමාපියන්ගෙන් ලැබෙන විශාල මූල්‍ය සහාය තමන්ට නොතිබූ නිසා කුඩා වියේ සිටම ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම ගැන අවධානය යොමු කළ බව ඔහු සඳහන් කළා.
ඔහුගේ අරමුණ තමන්ට පමණක් නිවසක් මිලදී ගැනීම නොව, දෙමාපියන් ඇතුළු මුළු පවුලටම එකට ජීවත් විය හැකි නිවසක් ලබාගැනීමයි.









