සංචිත බැංකුව අද පැවති රැස්වීමේදී පොලී අනුපාතය 4.10% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ඉතා සමීප ඡන්දයකින් ගත් එකක් වන අතර, සාමාජිකයින් 9 දෙනාගෙන් 5 දෙනෙක් ඉහළ දැමීමටත්, 4 දෙනෙක් එය එම තත්ත්වයේ තබාගැනීමටත් ඡන්දය දී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නව තීරණය අනුව නිවාස ණය ගත් අයගේ මාසික ගෙවීම් වැඩිවෙනු ඇති අතර ඩොලර් 600,000 ණයක් සඳහා සමාන්‍යයෙන් මාසිකව ඩොලර් 91ක් අමතරව ගෙවීමට සිදුවනු ඇති.
පසුගිය වැඩි කිරීමත් සමඟ එකතුව $181ක් පමණ වැඩිවී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.
ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ජීවන වියදම ඉදිරියේදී තවත් වැඩි විය හැකි බව විශේෂඥයන් පවසනවා.
එය පවුල් වියදමට මාසිකව සිය ගණනක ඩොලර් එකතු කළ හැකි බවටයි අනතුරු ඇඟවන්නේ.
මේ අතර බැංකු 27ක් පසුගිය සති 2 තුළ ස්ථිර පොලී අනුපාත වැඩි කර තිබුණු අතර බැංකු 41ක් තැන්පතු පොලී අනුපාත වැඩි කර තිබුණා.
එමෙන්ම S&P/ASX 200 දර්ශකය අද සුළු ලෙස (0.17%) ඉහළ ගොස් ඇති අතර ඔස්ට්‍රේලියානු ඩොලරය මේ වනවිට ඇමරිකානු සෙන්ට් 70–71 අතර පවතින අතර, මෙම පොලී වැඩි කිරීම හේතුවෙන් තවත් ශක්තිමත් විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ.
සමස්තයක් ලෙස බැලීමේදී උද්ධමනය පාලනය කිරීම සඳහා RBA පියවර ගත්තද, එය නිවාස ණය ගත් ජනතාවට තවත් මූල්‍ය පීඩනයක් ගෙන එන තීරණයක් ලෙස සැලකෙන්නේ.









