ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තයේ තරුණ අපරාධකරුවන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊයේ සිට, වයස අවුරුදු 14 සිට 17 දක්වා වූ යෞවනයින් විසින් නිවාස ආක්‍රමණ (aggravated home invasion) සහ මෝටර් රථ කොල්ලකෑම් (carjacking) වැනි ප්‍රචණ්ඩ අපරාධ සිදු කළහොත්, ඔවුන්ට වැඩිහිටියන්ට දෙන දඩුවම් යටතේම දඬුවම් ලබාදීමට නව නීති යටතේ හැකියාව පවතිනවා.
මීට පෙර, මෙම වයස් කාණ්ඩයට තිබූ උපරිම සිරදඩුවම වසර 3ක් වන අතර නව නීති යටතේ එය වසර 25 දක්වා ඉහළ දමා තිබෙනවා.
එම දඩුවම් වැඩිහිටියන්ට සිරගෙවල් තුළම විඳිය යුතු වනවා.
මේ අතර නව නීති අනුව, අධිකරණයේ දඬුවම් නියම කිරීමේදී පුද්ගලයාගේ “හොඳ චරිතය” සලකා බැලීමට ඉඩ නොදෙනු ඇති.
මෙතෙක් එය තහනම් කර තිබුණේ ළමා ලිංගික අපයෝජන වැනි විශේෂ අපරාධ කිහිපයකට පමණයි.
නමුත් දැන් එම තහනම සියලුම අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමටයි යෝජනා කර ඇත්තේ.
Attorney General Sonya Kilkenny ප්‍රකාශ කළේ, “අපරාධයකින් පීඩා විඳින පුද්ගලයන්ට අධිකරණයේදී තමන්ට හානි කළ පුද්ගලයා ‘හොඳ පුද්ගලයෙක්’ ලෙස හඳුන්වනවා ඇසීමට සිදුවීම ඔවුන්ගේ වේදනාව තවත් වැඩි කරන බවයි.
Premier Jacinta Allan ද කියා සිටියේ, “මෙය වින්දිතයින්ට සහය වීම සඳහා අපගේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ පියවරක්” බවයි.
මෙම නීති වෙනස්කම් Queensland හි ක්‍රියාත්මක කළ සමාන නීතිවලින් පසු, එම ප්‍රාන්තයේ අපරාධ වින්දිතයින්ගේ සංඛ්‍යාව සියයට 7.2 කින් අඩු වී ඇති බව එහි නායක David Crisafulli සඳහන් කළා.
කෙසේ වෙතත්, තරුණ විශේෂඥයන් සහ මානව හිමිකම් සංවිධාන මෙම දැඩි ප්‍රවේශය විවේචනය කර තිබෙනවා.
නව නීති කෙටුම්පත මේ වසර මැදදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.









