මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල තැපැල් කේත (Postcodes) අශ්‍රිතව සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
රෝහල වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ යාම හේතුවෙන්, Merri-bek, Moonee Valley සහ Melbourne යන පළාත් පාලන ප්‍රදේශවල පදිංචිකරුවන්ට පමණක් අලුතින් විශේෂඥ සායන සඳහා වේලාවන් වෙන්කරදීමටයි රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පවුලේ වෛද්‍යවරුන්ගේ සංගමය (RACGP) ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයින් දැඩි කණගාටුව සහ විරෝධය පළකර සිටිනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය සහ පිටත තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට ද මෙවැනි ප්‍රධාන රෝහලකින් සේවාවන් ලබාගැනීමේ සමාන අයිතියක් පැවතිය යුතු බවයි.
පුද්ගලයෙකුගේ තැපැල් කේතය පදනම් කරගනිමින් සෞඛ්‍ය සේවාවන් සීමාකිරීම සාධාරණ නොවන බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.









