2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දී ඇති අතර, වසර 12ක Labor පාලනය අවසන් කරමින් Liberal-National Coalition සන්ධානය බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.
මෙවර මැතිවරණයේදී ප්‍රාන්ත අගමැති Ben Carrollට ආණ්ඩු බලය පමණක් නොව, ඔහු නියෝජනය කළ Niddrie මැතිවරණ කොට්ඨාසය ද අහිමි වී තිබෙනවා.
Liberal පක්ෂ නායිකා Jess Wilson සිය මැතිවරණ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ අතර, 36 හැවිරිදි ඇය වික්ටෝරියා ඉතිහාසයේ මැතිවරණ ජයග්‍රහණයකින් බලයට පැමිණි පළමු කාන්තා ප්‍රාන්ත අගමැතිනිය මෙන්ම මෙතෙක් එම ධූරයට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස ද ඉතිහාස ගත වෙනවා.
මැතිවරණ පරාජයෙන් අනතුරුව අදහස් දැක්වූ Ben Carroll සඳහන් කළේ ජනතාවගේ විශ්වාසය යළි දිනාගැනීම සඳහා Labor පක්ෂය ජනතාවට වැඩි වශයෙන් සවන් දිය යුතු බවයි.
මේ අතර Greens පක්ෂය වික්ටෝරියා ඉතිහාසයේ එම පක්ෂය වාර්තා කළ ඉහළම ප්‍රතිඵලය සනිටුහන් කරමින් පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන හතක් පමණ දිනාගැනීමේ තත්ත්වයක පසු වෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර One Nation පක්ෂයට අවම වශයෙන් ආසන දෙකක් දිනාගැනීමේ හැකියාවක් පවතින බවට මාධ්‍ය වාර්තා කළද, එහි ප්‍රාන්ත නායක Warren Pickering තරග කළ Pakenham මැතිවරණ කොට්ඨාසය Liberal පක්ෂය දිනාගනු ඇති බවටයි පුරෝකථන මැතිවරණ දත්ත පෙන්වා දෙන්නේ.
නව සන්ධාන ආණ්ඩුවට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී නීති සම්මත කරගැනීම සඳහා One Nation පක්ෂය හෝ Labor සහ Greens පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට සිදුවිය හැකි බව දේශපාලන විචාරකයන් පවසනවා.
මේ අතර Labor පක්ෂය තුළ පවතින අභ්‍යන්තර කණ්ඩායම් ගැටුම් අවසන් කළ යුතු බවට ද එම පක්ෂයේම දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් ඡන්ද ගණන් කිරීම සිදුකෙරෙන බැවින් පාර්ලිමේන්තුවේ අවසන් ආසන සංයුතිය වෙනස් වීමට හැකියාවක් පවතින බවද සදහන් කල යුතුයි.