ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 29ත් අතර පසුවන මුළු ජනගහනයෙන් තුනෙන් එකක්, එනම් 30%කට ආසන්න ප්‍රමාණයක් තාවකාලික වීසා ලාභීන් බව නවතම දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.
Inflection Points නමැති ප්‍රතිපත්ති සඟරාවේ පළවූ වාර්තාවකට අනුව, පසුගිය ජූනි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ සිටින මුළු තාවකාලික වීසා ලාභීන් සංඛ්‍යාව මිලියන 3 ආසන්නයට ළඟා වී ඇති බව සඳහන්.
මෙම දත්තවලට අනුව, ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණයන්ගෙන් 20%ක් සහ 25ත් 29ත් අතර තරුණයන්ගෙන් 30%ක් ජාත්‍යන්තර සිසුන්, Backpackers සහ තාවකාලික සේවකයන් ලෙස ජීවත් වන අයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන e61 ආයතනයේ පර්යේෂණ කළමනාකරු Lachlan Vass පෙන්වා දෙන්නේ, බොහෝ සංක්‍රමණිකයන් ස්ථීර පදිංචිය (PR) ලබා ගැනීමට නොහැකිව එක් තාවකාලික වීසා බලපත්‍රයක සිට තවත් වීසාවකට මාරුවීමේ චක්‍රයක සිරවී සිටින බවයි.
එමෙන්ම, මෙම තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාව තුළ අඩු වැටුප්වලට සේවකයින් සූරාකෑමේ අවදානමක් සහ වැටුප් මට්ටම් පහත වැටීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද විශේෂඥයන් පෙන්වා දෙනවා.
මීට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා ලාභීන්ට වසර 8ක දැඩි නීතිමය කාල සීමාවක් පැනවිය යුතු බවත්, ඒ කාලය තුළ ඔවුන් ස්ථීර පදිංචිය ලබාගත යුතු බවත් නැතහොත් ආපසු රටින් පිටවිය යුතු බවත් ප්‍රතිපත්ති සම්පාදකයින් යෝජනා කරනවා.
මේ අතර විශේෂඥයන් අවධාරණය කරන්නේ ඔස්ට්‍රේලියාව Permanently Temporary පිරිසක් වෙසෙන රටක් බවට පත්වීම වැළැක්වීමට නම්, ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාවට වඩා වැඩි නිපුණතාවයෙන් යුත් සේවකයන් ආකර්ෂණය කරගැනීමට කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත්, මෙම තාවකාලික වීසා අර්බුදය පාලනය කිරීම එකවර සිදුකළ නොහැකි අතර එය ඉතා පරිස්සමෙන් හා දීර්ඝකාලීන ක්‍රමවේදයකට අනුව කළ යුතු බවයි ආගමන විගමන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ලේකම් ආචාර්ය Abul Rizvi සඳහන් කරන්නේ.









