ලිංගික දුබලතා සහ ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ ඉදිමීම් තත්ත්වයන් සඳහා බහුලව භාවිත කරන Tadalafil නැමැති ඖෂධය දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් ඇසේ Glaucoma නැමැති බරපතල අක්ෂි රෝගය වැළඳීමේ අවදානම ඉහළ යන බව අලුත්ම වෛද්‍ය පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය අක්ෂි වෛද්‍ය සංග්‍රහයේ (British Journal of Ophthalmology) ප්‍රකාශයට පත් කළ පර්යේෂණයකට අනුවයි මෙම තොරතුරු තහවුරු වී ඇත්තේ.
වයස අවුරුදු 40ට වැඩි පිරිමින් 74,000කට ආසන්න පිරිසක් යොදාගනිමින් වසර 5ක කාලයක් තිස්සේ සිදුකළ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, මෙම ඖෂධය දීර්ඝකාලීනව භාවිත කළ පිරිමින්ට ග්ලුකෝමා රෝගය වැළඳීමේ ප්‍රවණතාව 22%කින් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ඇසේ පීඩනය ඉහළ යාමේ අවදානම 32%කින් ඉහළ ගොස් ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.
වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම ඖෂධ මගින් ශරීරයේ රුධිර ගමනාගමනය වෙනස් කිරීම හේතුවෙන් ඇසේ දෘශ්‍ය ස්නායුවට (Optic Nerve) ලැබෙන රුධිර සැපයුම අඩුවීම හෝ ඇසේ පීඩනය ක්ෂණිකව ඉහළ යාම මීට හේතුවිය හැකි බවයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිසා තමන් භාවිත කරන ඖෂධ ක්ෂණිකව නතර නොකරන ලෙසත්, ඖෂධ ලබාගන්නා අතරතුර නිතර අක්ෂි පරීක්ෂණ (Eye Tests) සිදුකර ගැනීමට වගබලා ගන්නා ලෙසත් වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.
විශේෂයෙන්ම වයස අවුරුදු 50ට වැඩි, අධි රුධිර පීඩනය ඇති සහ පවුලේ අයට ග්ලුකෝමා රෝගී ඉතිහාසයක් ඇති පුද්ගලයින් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වනවා.
කල්තියා හඳුනා ගැනීම මගින් ග්ලුකෝමා රෝගය නිසා සිදුවන අන්ධභාවය වළක්වා ගැනීමට ද හැකියාව පවතිනවා.









