One Nation නායිකා පෝලින් හැන්සන්ගේ දේශපාලන නැගී සිටීමට එරෙහිව ලබන සතියේදී රට පුරා දැවැන්ත ශිෂ්‍ය වර්ජනයක් පැවැත්වීමට පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් තීරණය කර තිබෙනවා.
‘Students Say No To Hanson’ ලෙස නම් කර ඇති මෙම විරෝධතාව ලබන 13 වනදා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
පසුගිය කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටමින් ‘වන් නේෂන්’ පක්ෂයේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මෑතකදී පැවැති දකුණු ඔස්ට්‍රේලියානු මැතිවරණයේදී ආසන 5ක් දිනා ගැනීමට ද ඔවුන් සමත් වුණා.
කෙසේ වෙතත්, පෝලින් හැන්සන් විසින් පසුගියදා සිදුකළ බහුසංස්කෘතිකත්වයට එරෙහි ප්‍රකාශ, බ්‍රිතාන්‍යයේ අන්තවාදී දේශපාලනඥයන් හමුවීම සහ ඇගේ දේශපාලන ගමනට කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන මූල්‍ය අනුග්‍රහය පිළිබඳව සිසුන් දැඩි විරෝධය පළ කරනවා.
සිඩ්නි, මෙල්බන් සහ ඇඩිලේඩ් යන ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් මෙම විරෝධතා සංවිධානය කර ඇති අතර, සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මණ්ඩලය ඇතුළු සංවිධාන රැසක් ඊට සහය පළ කර තිබෙනවා.
ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ සිසුන් තම පන්ති කාමරවලින් ඉවත්ව ප්‍රධාන නගරවල පාර්ලිමේන්තු සංකීර්ණ සහ ප්‍රසිද්ධ ස්ථාන වෙත පාගමනින් ගමන් කිරීමට නියමිතයි.
මේ අතර ඉදිරියේදී පැවැත්වෙන වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට ද මෙම තත්ත්වය දැඩි ලෙස බලපානු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.









