ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) සිදුවූ තාක්ෂණික දෝෂයක් සහ ප්‍රමාදයක් හේතුවෙන්, වසර 12ක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ පවුලකට ලබන සතියේදී රට හැර යාමට සිදුව තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සිට පැමිණි යුවලක් චෝදනා කරන්නේ සියලු වීසා නීති නිසි ලෙස අනුගමනය කළ ද, රජයේ වැරැද්දක් නිසා තමන් අසරණ වී ඇති බවයි.
සිය පවුලට වඩාත් සුරක්ෂිත අනාගතයක් ලබාදීමේ අරමුණින් මෙම පවුල මීට වසර 12කට පෙරයි ඔස්ට්‍රේලියාවට පැමිණි ඇති අතර ඔවුන් ක්වීන්ස්ලන්ඩ්හි රැකියාවල නිරත වෙමින් සාර්ථකව ජීවත් වුණා.
එහෙත් පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ 2023 වසරේදී ඔවුන් දින 9ක කාලයක් නීති විරෝධී ලෙස රට තුළ රැඳී සිට ඇති බවයි.
අදාළ පවුල පෙන්වා දෙන්නේ එය තමන්ගේ වැරැද්දක් නොව, 2023 දී වීසා නිකුත් කිරීමේදී දෙපාර්තමේන්තුව විසින් ලේඛන සකස් කිරීමට ගත් අමතර දින 9ක ප්‍රමාදයේ ප්‍රතිඵලයක් බවයි.
කෙසේ වෙතත් වත්මන් තත්ත්වය හමුවේ ඔවුන්ට රැකියා කිරීමට හෝ අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවන්නේ නැහැ.
මේ වන විට අධික ලෙස බිල්පත් එකතු වී ඇති බැවින් තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට තරම් මුදලක් නොමැති නිසා සියල්ල අත්හැර දමා ආපසු යාමට ඔවුන්ට සිදුව තිබෙනවා.
මේ අතර තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් අමාත්‍ය මට්ටමේ මැදිහත්වීමක් (Ministerial Intervention) ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
මෙම තීරණය වෙනස් නොවුණහොත්, ඔවුන්ට ඉදිරි වසර 3 තුළ නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම ද තහනම් වන අතර, ඔවුන්ගේ දරුවන්ගෙන්ද වෙන්වීමට සිදුවනු ඇති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Department of Home Affairs පවසන්නේ පෞද්ගලිකත්ව හේතු මත තනි Visa සිද්ධීන් පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවයි.
Visa තීරණයකට එරෙහිව සමාලෝචනයක් ඉල්ලා සිටින අය නීත්‍යනුකූල තත්ත්වය පවත්වාගැනීම සඳහා හැකි ඉක්මනින් අයදුම් කළ යුතු බව ද දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.









