ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 150 වැනි සංවත්සර තරගයට සමගාමීව පැවැත්වෙන ඓතිහාසික Prime Minister’s XI ක්‍රිකට් තරගය මෙවර මෙල්බන්හි Junction Oval ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
2027 වසරේ මාර්තු 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වෙන මෙම දිවා-රාත්‍රී තරගයේදී Prime Minister’s XI කණ්ඩායම ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.
මෙම තරගය පැවැත්වෙන්නේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (MCG) පැවැත්වීමට නියමිත ඓතිහාසික 150 වැනි සංවත්සර ටෙස්ට් තරගයට සතියකට පෙර වීම විශේෂත්වයක්.
Prime Minister’s XI තරගාවලි ඉතිහාසයේ වසර 75ක කාලය තුළ මෙම තරගය මෙල්බන්හිදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනවා.
1951 වසරේදී එවකට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Sir Robert Menzies විසින් ආරම්භ කරන ලද මෙම සාම්ප්‍රදායික තරගය සඳහා මෙවර ද කණ්ඩායම තේරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව සමඟ අගමැති ඇන්තනි ඇල්බනීසි එක්වීමට නියමිතයි.
මේ අතර මෙම 150 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ද මාර්තු 8 සහ 10 දිනවලදී මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.









