ලොව පුරා අධ්‍යාපන ආයතන රැසක් භාවිතා කරන Canvas සහ QLearn learning management systemවලට එල්ල වූ දරුණු සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් ලක්ෂ ගණනක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.
මේ වන විටත් පද්ධති යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
පසුගිය මැයි 2 වනදා ආරම්භ වූ මෙම සයිබර් ප්‍රහාරයේ වගකීම ‘ShinyHunters’ නම් හැකර් කණ්ඩායම විසින් භාරගෙන තිබෙනවා.
ඔවුන් විසින් පද්ධතියට ඇතුළු වී ගුරුවරුන්ට සහ සිසුන්ට කප්පම් ඉල්ලා පණිවිඩ යොමු කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්, ටස්මේනියාව සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල පාසල්, TAFE ආයතන සහ විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.
විභාග සහ පැවරුම් (Assessments) භාර දීමට නියමිතව සිටි සිසුන් පද්ධතියට ඇතුළු වීමට නොහැකි වීම නිසා දැඩි පීඩනයකට පත්ව සිටිනවා.
පද්ධතිය භාර ‘Instructure’ ආයතනය පවසන්නේ ආරක්ෂක පියවරක් ලෙස පද්ධතිය තාවකාලිකව අක්‍රිය කළ අතර මේ වන විට බොහෝ පරිශීලකයින්ට නැවත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක Michelle McGuinness ප්‍රකාශ කළේ, පෞද්ගලික හැඳුනුම්පත් හෝ මූල්‍ය තොරතුරු අවභාවිත වී ඇති බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති බවයි.
මේ අතර හැකර්වරුන් සමඟ සම්බන්ධ නොවන ලෙසත්, Dark Web හරහා දත්ත සෙවීමට උත්සාහ නොකරන ලෙසත් ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.









