සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ලෝක කුසලාන තරඟාවලියේ පාකිස්තානයට එරෙහිව ලැබූ පරාජයෙන් පසුවයි.
ජයසූරිය පැවසුවේ, මෙම ලෝක කුසලානය තමන්ගේ අවසන් රාජකාරිය ලෙස තීරණය කර තිබූ බවයි.
මෙම වගකීම වෙනත් අයෙකුට ලබාදීමට කාලය පැමිණ ඇති බවත් එංගලන්ත තරඟ මාලාවේදීත් දිගු කාලයක් මේ ධුරයේ රැඳී නොසිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
තවද, තමන්ට ලෝක කුසලානයෙන් සාර්ථක ලෙස ඉවත්වීමට අපේක්ෂා කළද එය සිදු කිරීමට නොහැකි වීම ගැන කණගාටුවක් පවතින බවද ඔහු කියාසිටියා.
ඔහුගේ ගිවිසුම මේ වසරේ ජූනි මාසය දක්වා වලංගු වුවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) තවම නිල වශයෙන් තම තීරණය දැනුම් දී නොමැති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් ජයසූරිය ප්‍රකාශකළා.
2024 T20 ලෝක කුසලානයෙන් පසු පුහුණුකරු ධුරය භාරගත් ජයසූරියගේ මුල් කාලය සාර්ථක වුණා.
2024 අගෝස්තු මාසයේ ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු එක්දින තරඟ මාලාවක් ජයගැනීම, ඉන්පසු ටෙස්ට් තරඟයක ජයග්‍රහණයක් ලබාගැනීම සහ නවසීලන්තය 2-0 ලෙස පරාජය කිරීම එහි සුවිශේෂී වනවා.
ඔහු පැවසුවේ, කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්වල 8/9 ස්ථානයෙන් 4වන ස්ථානයට ගෙන ආ බවත්, ටෙස්ට් කණ්ඩායම 6වන ස්ථානයට උසස් කළ බවයි.
කෙසේවෙතත්, අවසන් වසර තුළ විශේෂයෙන් T20 ආකෘතියේ අසාර්ථකතා රැසක් වාර්තා වූණා.
ජයසූරිය මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා ප්‍රධාන තේරීම් කමිටු සභාපති ලෙසද සේවය කර තිබෙනවා.









