ශ්‍රී ලාංකික පවුල් උරුමයක් ඇති Canva නිර්මාතෘ Melanie Perkinsගේ බිලියන ගණනක සාර්ථකත්වය
ලොව පුරා මිලියන ගණනක් ජනතාව දිනපතා භාවිත කරන Canva නිර්මාණ වේදිකාවේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන Melanie Perkins, ශ්‍රී ලාංකික උරුමයක් ඇති ඕස්ට්‍රේලියානු ව්‍යවසායිකාවක් වනවා.
1987 වසරේ Western Australia හි Perth නගරයේ උපත ලැබූ Melanie Perkinsගේ මව ඕස්ට්‍රේලියාවේ උපන් ගුරුවරියක් වන අතර, ඇගේ පියා මැලේසියාවේ උපන් ඉංජිනේරුවරයෙක්.
වාර්තා අනුව ඇගේ පියාට Filipino සහ ශ්‍රී ලාංකික පවුල් සම්භවයක් පවතිනවා.
ඒ අනුව Melanie Perkins ශ්‍රී ලංකාවේ උපන් කාන්තාවක් හෝ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවුණත්, ඇගේ පියාගේ පාර්ශ්වයෙන් ශ්‍රී ලාංකික පවුල් උරුමයක් ඇති කෙනෙකු ලෙසය් හඳුන්වා දිය හැක්කේ.
විශ්වවිද්‍යාල සිසුන්ට graphic design වැඩසටහන් භාවිත කිරීම උගන්වමින් සිටියදී, එම වැඩසටහන් සාමාන්‍ය පුද්ගලයන්ට ඉගෙන ගැනීම අපහසු බව Melanie Perkins නිරීක්ෂණය කර තිබුණා.
ඕනෑම කෙනෙකුට පහසුවෙන් නිර්මාණ සිදු කළ හැකි අන්තර්ජාල වේදිකාවක් සකස් කිරීමේ අදහස ඇයට ඇතිවුණේ ඒ අනුවයි.
ඇය වයස අවුරුදු 19දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය නවතා, Cliff Obrecht සමඟ Fusion Books නමින් online school yearbook නිර්මාණ ව්‍යාපාරයක් ආරම්භ කළා.
එම ව්‍යාපාරයෙන් ලැබූ අත්දැකීම් පසුව Canva නිර්මාණය කිරීම සඳහා පදනමක් බවට පත්ව තිබෙනවා.
Melanie Perkins, ඇගේ සැමියා වන Cliff Obrecht සහ Cameron Adams එක්ව 2013දී Canva ආරම්භ කළා.
මුල් කාලයේ ආයෝජකයන්ගෙන් අවස්ථා ලබාගැනීම පහසු නොවුණත්, අද Canva ලෝකයේ ප්‍රමුඛතම online design වේදිකාවක් බවට පත්ව තිබෙනවා.
Canva මඟින් සමාජ මාධ්‍ය පළ කිරීම්, පෝස්ටර්, වීඩියෝ, ඉදිරිපත් කිරීම්, ලාංඡන සහ වෙනත් නිර්මාණ ඉතා පහසුවෙන් සකස් කළ හැකියි.
2025 අගෝස්තු මාසයේ පැවති පෞද්ගලික කොටස් ගනුදෙනුවලදී Canva සමාගමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 42ක් ලෙස තක්සේරු කර තිබුණා.
Forbes ඇස්තමේන්තු අනුව Melanie Perkinsගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක් පමණ වන බව වාර්තා වෙනවා.
එම මුදලේ වටිනාකම සමාගමේ කොටස් මිල අනුව වෙනස් විය හැකි අතර, ඇගේ ධනයෙන් වැඩි කොටස Canva සමාගමේ ඇති කොටස් මත පදනම් වෙනවා.
Melanie Perkins සහ Cliff Obrecht තමන් සතු Canva කොටස්වලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් අනාගතයේ පුණ්‍ය සහ සමාජ සේවා කටයුතු සඳහා Canva Foundation වෙත යොමු කිරීමට ද පොරොන්දු වී තිබෙනවා.
ශ්‍රී ලාංකික පවුල් උරුමයක් ද ඇති Melanie Perkinsගේ ගමන, කුඩා අදහසක් ලෝකයම භාවිත කරන බිලියන ගණනක තාක්ෂණික සමාගමක් බවට පත් කළ හැකි බව පෙන්වන සාර්ථකත්වයේ කතාවක් ලෙස සැලකිය හැකියි.
***මෙම ලිපියේ ප්‍රකාශන අයිතිය AusLanka TV මාධ්‍ය ජාලය සතුයි.









