One Nation නායිකා Pauline Hansonට රට පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තියක් හෝ අදහසක් නොමැති බව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Kevin Rudd පවසනවා.
ABC නාලිකාවේ 7.30 වැඩසටහන සමඟ ලන්ඩනයේ සිට සම්බන්ධ වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මෑතකදී සිදුකළ ජනමත විමසුමකට අනුව පෝලින් හැන්සන්ගේ පක්ෂයේ ජනප්‍රියතාව ඉහළ ගොස් ඇති පසුබිමක අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා සඳහන් කළේ, ඇය වසර 25ක කාලයක් තිස්සේ සිදුකරන්නේ ජාතිවාදය සහ විරෝධතා දේශපාලනය විකුණා දැමීම පමණක් බවයි.
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය, නිවාස අර්බුදය හෝ පරිසරය වැනි රටේ පවතින සැබෑ ප්‍රශ්න සඳහා කිසිදු ප්‍රායෝගික විසඳුමක් ඇය සතුව නොමැති බව ද Kevin Rudd චෝදනා කළා.
මේ අතර, චීනයේ වර්ධනය වන නාවික සහ සබ්මැරීන් බලය හේතුවෙන් AUKUS ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික බලයෙන් ධාවනය වන සබ්මැරීන ලබාගැනීම සම්පූර්ණයෙන්ම නිවැරදි තීරණයක් බවයි හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේ.
චීන ජනාධිපති Xi Jinping සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ සාකච්ඡා සහ ප්‍රකාශයන් විශ්ලේෂණය කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2028 වසර වන විට චීනය විසින් තායිවානය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.









