ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවාස වෙත පැමිණ පෞද්ගලික තොරතුරු සහ මුදල් සොරාගැනීමේ ජාවාරමක් පිළිබඳව ඔස්ට්‍රේලියානු වැසියන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මෙම වංචනිකයන් විසින් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ව්‍යාජ හැඳුනුම්පත් සහ ලේඛන පෙන්වමින් නිවෙස්වලට ගොස් ජනතාව නොමග යවන බවයි අනාවරණය වී ඇත්තේ.
ඔවුන් විසින් නිවාසවල සිටින පුද්ගලයන්ගෙන් පෞද්ගලික සහ වටිනා ලේඛනවල තොරතුරු, ඇඟිලි සලකුණු සහ ඡායාරූප වැනි තොරතුරු මෙන්ම විවිධ හේතු දක්වමින් මුදල් ලබාගැනීමට ද උත්සාහ දරන බව සඳහන් වනවා.
මෙලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටින කිසිවෙකු ඔබගේ නිවසට හදිසියේ පැමිණියහොත් ඔබගේ කිසිදු පෞද්ගලික තොරතුරක් ලබාදීමෙන් වළකින ලෙසයි දැනුම් දී ඇත්තේ.
මුදල් හෝ බැංකු ගිණුම් තොරතුරු ලබා නොදෙන ලෙස ද කිසිදු හේතුවක් මත ඔවුන්ට නිවස තුළට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ද උපදෙස් දී තිබෙනවා.
මේ අතර මෙවැනි සැකකටයුතු පුද්ගලයන් නිරීක්ෂණය වුවහොත් වහාම ප්‍රදේශයේ පොලිසියට හෝ බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, Scamwatch වෙබ් අඩවිය ඔස්සේ මෙවැනි වංචාවන් පිළිබඳ වාර්තා කරන ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.









