ඔස්ට්‍රේලියාවේ නොමිලේ TAFE පාඨමාලා සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ඇති බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.
රජය පවසන්නේ මේ වනවිට ලියාපදිංචිවීම් 800,000කට වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 258,000කට වැඩි පිරිසක් සිය පාඨමාලා සාර්ථකව අවසන් කර ඇති බවයි.
මෙම වැඩසටහන ඉදිකිරීම්, වයෝවෘද්ධ සත්කාර, ළමා සුරැකුම්, නිෂ්පාදන සහ ආගන්තුක සත්කාර ඇතුළු සේවක හිඟයක් පවතින ක්ෂේත්‍ර සඳහා දක්ෂ ශ්‍රම බලකායක් බිහිකිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙනවා.
වයස අවුරුදු 24ට අඩු තරුණයන් ලියාපදිංචිවීම්වලින් සියයට 35ක් නියෝජනය කරන අතර, කලාපීය ප්‍රදේශවලින් සියයට 32ක් පමණ මෙම වැඩසටහනට එක්ව සිටින බවද සඳහන් වෙනවා.
රැකියා සොයන පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පමණ නොමිලේ TAFE වැඩසටහන හරහා නව කුසලතා ලබාගනිමින් සිටින බවද රජය පෙන්වා දෙනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් පවසන්නේ, හොඳ වැටුප් සහිත රැකියා සඳහා අවශ්‍ය කුසලතා ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙමින් මෙම වැඩසටහන ජීවිත වෙනස් කරන අවස්ථා නිර්මාණය කර ඇති බවයි.
ෆෙඩරල් රජය මෙම වැඩසටහන 2035 දක්වා වාර්ෂිකව නොමිලේ TAFE අධ්‍යයන අවස්ථා 100,000ක් ලබාදෙන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමට ද මුදල් වෙන්කර තිබෙනවා.









