පසුගිය සතියේ සිදුවූ රටපුරා Telstra ජාල බිඳවැටීමෙන් පීඩාවට පත් පාරිභෝගිකයන්ට වන්දි ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබාදෙන බව සමාගම නිවේදනය කර තිබෙනවා.
එහිදී ව්‍යාපාරික පාරිභෝගිකයන්ට තමන්ට සිදුවූ මූල්‍ය අලාභය සනාථ කළ හැකි නම්, ඒ සඳහා වන්දි ඉල්ලුම් කළ හැකි බව Telstra සඳහන් කරනවා.
නිවාස භාවිතාකරුවන්ටද බිඳවැටීම හේතුවෙන් බලපෑමක් සිදුවී ඇත්නම්, සමාගම වෙත පැමිණිල්ලක් හෝ වන්දි ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි බවයි වාර්තා වන්නේ.
තවද, වන්දි ස්වයංක්‍රීයව ලබා නොදෙන අතර, එක් එක් ඉල්ලීම වෙන වෙනම සලකා බැලෙන බව Telstra පවසනවා.
මෙම බිඳවැටීම හේතුවෙන් ජංගම දුරකථන සේවා, EFTPOS ගෙවීම්, ප්‍රවාහන සේවා සහ ඇතැම් හදිසි ඇමතුම් සේවාවලටද බාධා එල්ල වූ බව වාර්තා වී තිබුණා.
සිද්ධියට හේතුව ජාලයේ කාල සමමුහුර්ත කිරීමේ පද්ධතියේ මෘදුකාංග දෝෂයක් බව Telstra අනාවරණය කර ඇති අතර, එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට පූර්ණ විමර්ශනයක් සිදුකරන බව සමාගම පවසනවා.
මෙහිදී වන්දි ඉල්ලීමක් කිරීමට කැමති පාරිභෝගිකයන්ට MyTelstra යෙදුම, ඔන්ලයින් සහාය සේවාව හෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හරහා අයදුම් කළ හැකි බවයි සමාගම වැඩිදුරටත් දැනුම්දී තිබෙන්නේ.









