ඔස්ට්‍රේලියාව පුරා දුරකථන සහ අන්තර්ජාල සේවා ඇතුළු පොදු ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම අඩාල කළ Telstra සන්නිවේදන ජාලයේ බිඳවැටීමට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
Telstra සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) Michael Ackland විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, මෙම බිඳවැටීමට හේතුව සමාගමේ Data Centre Servers තුළ පවතින Time Synchronisation පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් බවයි.
මෙම දෝෂය හේතුවෙන් දත්ත මධ්‍යස්ථානවල පවතින Nodes නැමැති පද්ධති ඒකක අක්‍රිය වී ඇති අතර, එහි මූලික හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත්, පැය 7කට ආසන්න දැවැන්ත මෙහෙයුමකින් පසු මේ වන විට ජාලයේ සන්නිවේදන කටයුතු 90%ක් දක්වා යථා තත්ත්වයට පත් කිරීමට තාක්ෂණික කණ්ඩායම් සමත්ව තිබෙනවා.
මෙම බිඳවැටීම හේතුවෙන් උදෑසන කාර්යබහුල වේලාවේදී මගීන් සහ රියදුරන් දැඩි දුෂ්කරතාවයට පත් වුණා.
වික්ටෝරියා ප්‍රාන්තයේ V/Line දුම්රිය මාර්ග කිහිපයක ගමන් වාර තවදුරටත් ප්‍රමාද වී ඇති අතර, නිව් සවුත් වේල්ස්හි Hunter Line මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර බස් රථ සේවා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මංසන්ධිවල මාර්ග සංඥා එළි පාලනය කිරීමට මධ්‍යම පාලක මැදිරියට නොහැකි වීම නිසා දැඩි රථවාහන තදබදයක් ද හටගත්තා.
Triple-0 සම්බන්ධයෙන් අදහස් දැක්වූ ටෙල්ස්ට්‍රා නිලධාරියා පැවසුවේ සාමාන්‍ය ඇමතුම් මෙන් හදිසි ඇමතුම් බිඳ වැටී නොමැති වුවද, ඇතැම් පාරිභෝගිකයින්ට ගැටලු මතු වූ බවට වාර්තා ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන බවයි.









