මාරාන්තික H5N1 කුරුලු උණ වෛරස් ප්‍රභේදය ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා වන සතුන් සහ මුහුදු ක්ෂීරපායී සතුන් දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බව ජාත්‍යන්තර බෝවන රෝග විශේෂඥයන් පවසනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමු වූ Giant petrel නමැති මුහුදු පක්ෂියෙකුට මෙම වෛරසය වැළඳී ඇති බව CSIRO ආයතනය විසින් තහවුරු කිරීමත් සමඟ, ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ 6 වන කුරුලු උණ රෝගී අවස්ථාව මෙය ලෙස සටහන් වුණා.
මීට අමතරව බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත්හි වෙරළකින් හමු වූ තවත් සංක්‍රමණික පක්ෂියෙකුට වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙනවා.
බොස්ටන් විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය Nahid Bhadelia ඔස්ට්‍රේලියාවට උපදෙස් දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකාව වැනි රටවල් මුල් අවස්ථාවේදී ප්‍රමාණවත් ලෙස පරීක්ෂණ (Testing) සිදු නොකිරීම නිසා විශාල ව්‍යසනයකට මුහුණ දුන් බවයි.
එම වැරැද්දෙන් පාඩම් ඉගෙන ගෙන, කුකුළු ගොවිපළවල් කරා වෛරසය පැතිර යාමට පෙර, ප්‍රදේශයේ වෙසෙන අනෙකුත් පක්ෂීන් සහ සීල් සතුන් වැනි මුහුදු ක්ෂීරපායීන් පරීක්ෂාවට ලක් කිරීම ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතාවය විය යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.
මේ වන විටත් බටහිර ඔස්ට්‍රේලියාවේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බලධාරීන් 500කට අධික පිරිසක් යොදවමින් වෙරළ තීරයන්, ජාතික උද්‍යාන සහ වගුරුබිම් ආශ්‍රිතව සනීපාරක්ෂක සෝදිසි කිරීම් (Surveillance) දැඩි කර තිබෙනවා.
කෙසේ වෙතත්, දැනට ඔස්ට්‍රේලියාවෙන් හමුවී ඇති වෛරස් ප්‍රභේදය ඇමෙරිකාවේ පවතින ප්‍රභේදයට වඩා වෙනස් බැවින්, එය සතුන්ට වැළඳීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි පර්යේෂකයන් පවසන්නේ.









