2026 වසර සඳහා ලෝකයේ වැඩිම wellness ප්‍රවණතාව ඇති නැතහොත් සෞඛ්‍ය සම්පන්න ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇති බව BookRetreats.com විසින් නිකුත් කළ State of Retreats 2026 නවතම වාර්තාවක දැක්වෙනවා.
එම වාර්තාවට අනුව BookRetreats වෙබ් අඩවියේ ශ්‍රී ලංකාව පිළිබඳ සෙවුම් උනන්දුව වසරක් තුළ 100%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඕස්ට්‍රේලියාව, මොරොක්කෝව, එංගලන්තය සහ ස්පාඤ්ඤය වැනි රටවල් පසුපසට තල්ලු කරමින් ශ්‍රී ලංකාව ඉහළම ස්ථානය දිනාගෙන තිබීම විශේෂත්වයක්.
ඒ අනුව මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්වූ අතර, ඔස්ට්‍රේලියාව 85%ක වර්ධනයක් සමඟ දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා.
දිගුකාලීන ආයුර්වේද සම්ප්‍රදාය, සාපේක්ෂව අඩු වියදම සහ ස්වභාවික සුන්දරත්වය ශ්‍රී ලංකාව පළමු ස්ථානයට ගෙන ඒමට ප්‍රධාන හේතු ලෙසයි වාර්තාවේ දැක්වෙන්නේ.
මහනුවර වැනි ප්‍රදේශවල wellness retreat එකක වියදම ඇමරිකානු ඩොලර් 373කින් පමණ ආරම්භ වන බවද එහි සඳහන්.
මෑතකදී සංචාරක වීසා ගාස්තු රටවල් 40කට අත්හිටුවීමත් සමඟ wellness සංචාරකයන්ට ශ්‍රී ලංකාව තවදුරටත් ආකර්ෂණීය වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා.
ඒ සමඟම අලි ඇතුන්, නිල් තල්මසුන් දැකීම සහ ලංකාවේ මුහුදු වෙරළද මෙම ආකර්ෂණයට හේතුවී තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සකස් කර ඇත්තේ සෙවුම් දත්ත සහ ඇමරිකානු සංචාරකයින් 1,040 දෙනෙකුගේ සමීක්ෂණයක පදනම මතයි.









