ජාත්‍යන්තර ගෘහ සේවක දිනයට සමගාමීව විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ශක්තිමත් කිරීම අරමුණු කරගත් “LankaKonect” පැමිණිලි කළමනාකරණ ජංගම යෙදුම කොළඹදී නිල වශයෙන් දියත් කර තිබෙනවා .
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් එක්ව සිටිය බවටයි වාර්තා වන්නේ .
මෙම යෙදුම මඟින් විදේශගත ශ්‍රමිකයන්ට ඕනෑම රටක සිට පැමිණිලි සහ සහාය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට, ඒවායේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබෙන බවට සදහන් .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කොන්සියුලර් කටයුතු අංශය සහ විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල අතර පැමිණිලි කළමනාකරණ ක්‍රියාවලිය එකම ඩිජිටල් වේදිකාවක් යටතේ ඒකාබද්ධ කිරීම මෙම යෙදුමේ විශේෂත්වයක් ලෙසයි සැලකෙන්නේ .
ආරම්භයේදී පැමිණිලි කළමනාකරණ පද්ධතියක් ලෙස සැලසුම් කළද, එය අද වනවිට රැකියා, අධ්‍යාපන සහ පදිංචි කටයුතු සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සපයන පුළුල් ඩිජිටල් වේදිකාවක් බවට පත්ව තිබෙනවා .
Google Play සහ Apple App Store හරහා නොමිලේ ලබාගත හැකි “LankaKonect” යෙදුම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කිරීම සඳහා රජය ගෙන ඇති නවීන ඩිජිටල් පියවරක් ලෙසයි සැලකෙන්නේ .









