ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන ප්‍රමුඛතම වෘත්තීය ආයතනය වන Royal Australasian College of Physicians (RACP) හි අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රවීණ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන මහාචාර්ය Tissa Wijeratne මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබෙනවා.
මෙල්බන්හි Western Health ආයතනයේ ස්නායු රෝග හා අංශභාග ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු, මැයි 29 දා පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය පුරා සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශාල සහාය ලබා ගනිමින් මෙම ගෞරවනීය තනතුරට පත්වූ බවයි වාර්තා වන්නේ.
දිගු ඉතිහාසයක් සහිත RACP ආයතනය වෛද්‍ය වෘත්තීය ප්‍රමිතීන්, සෞඛ්‍ය ප්‍රතිපත්ති, වෛද්‍ය අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ ප්‍රධාන නායකත්වයක් ලබාදෙන ආයතනයක් ලෙස සැලකෙනවා.
එහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වීම ඕනෑම ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට හිමිවිය හැකි ඉහළම ගෞරවයන්ගෙන් එකක් ලෙසයි පිළිගැනෙන්නේ.
ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සිය අධ්‍යාපන ගමන ආරම්භ කළ මහාචාර්ය විජේරත්න මහතා වසර 20කට අධික කාලයක් පුරා ඔස්ට්‍රේලියාවේ ස්නායු රෝග, අංශභාග, හිසරදය, පාකින්සන් රෝගය සහ පශ්චාත් කොවිඩ් තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ හා ප්‍රතිකාර ක්ෂේත්‍රයේ විශාල සේවයක් ඉටු කරනු ලැබුවා.
ඔහු මේ වනවිට විද්‍යාත්මක පර්යේෂණ ප්‍රකාශන 350කට අධික සංඛ්‍යාවක් පළ කර ඇති අතර, 2025 සහ 2026 වසරවල ඔස්ට්‍රේලියාවේ ස්නායු රෝග ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෛද්‍ය පර්යේෂකයෙකු ලෙසද ඇගයීමට ලක්ව තිබෙනවා.
මීට අමතරව, World Federation of Neurology හි මහජන දැනුවත් කිරීමේ සහ ප්‍රවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසත්, ලෝක මස්තිෂ්ක දිනය හා ලෝක හිසරදය දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක නිර්මාතෘවරයෙකු සහ නායකයෙකු ලෙසත් ඔහු ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදී තිබෙනවා.
තම තේරී පත්වීම පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය විජේරත්න මහතා සඳහන් කළේ මෙය තම පෞද්ගලික ජයග්‍රහණයක් නොව, වසර ගණනාවක් පුරා තමන් සමඟ කටයුතු කළ රෝගීන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය සේවකයින් සහ ප්‍රජා නායකයින්ගේ එකමුතුව හා කැපවීමක ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු බවයි.
එමෙන්ම, මෙම නව වගකීම හරහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය සේවා, වෛද්‍ය අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පෙන්වාදෙන්නේ.
පසුගිය දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන සංවර්ධනයට විවිධ මට්ටම්වලින් දායක වීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් වූ බව සඳහන් කළ ඔහු, RACP අධ්‍යක්ෂ මණ්ඩලයේ නව වගකීමත් සමඟ එම කටයුතු වඩාත් ක්‍රමානුකූලව හා ආයතනික මට්ටමින් ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කරනවා.
ආසියානු සහ පැසිෆික් කලාපය සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයන් ගොඩනැගීම RACP හි ද දැක්මක් වන අතර, එහිදී ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවද ඔහු අවධාරණය කර සිටියා.









