ඔස්ට්‍රේලියාව පුරා පවතින දැඩි ඩීසල් හිඟය හේතුවෙන් සමස්ත රටම බරපතළ ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් (David Littleproud) අනතුරු අඟවනවා.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය ප්‍රදේශවල ගොවීන්ට අවශ්‍ය ඩීසල් සැපයුම මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි.
බොහෝ ගොවීන්ට ඉදිරි දින කිහිපය තුළ සිය ට්‍රැක්ටර් රථ සහ අස්වනු නෙලන යන්ත්‍ර ක්‍රියා කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් අස්වනු නෙලීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව ද ඔහු සඳහන් කළා.
මෙම අර්බුදය ගොවිබිම්වලට පමණක් සීමා නොවන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
ඉන්ධන හිඟය හේතුවෙන් ආහාර ප්‍රවාහනය සහ සැකසීම ද අඩාල වන බැවින් සෑම ඔස්ට්‍රේලියානු පවුලකටම වෙළඳපොළේදී ඉහළ මිලක් ගෙවීමට සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නා.
මෙය ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මෙම තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන ලෙස බල කරමින් බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් (Chris Bowen) වෙත ලිපියක් යොමු කර ඇති ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ්, ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සැපයුම වහාම තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.









