ඔස්ට්‍රේලියානු ගොල්ෆ් ක්‍රීඩා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින්, අට හැවිරිදි දැරියක් ගොල්ෆ් ක්‍රීඩා සමාජයක කාන්තා ශූරතාව දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා.
Sydney නගරයේ Northbridge Golf Club හි පැවති අවසන් තරගය ජයගනිමින් මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවා ඇත්තේ Kwon Bee Sim නමැති දැරියයි.
ඇය අවසන් තරගයේදී තමන්ට වඩා වයසින් වැඩි ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් පරාජය කරමින්, තරගය අවසන් වීමට නියමිතව තිබූ අදියර පහකට පෙරම සිය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.
පාසලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන Kwon Beeගේ ගොල්ෆ් handicap අගය 10ක් වන අතර, ගොල්ෆ් ක්‍රීඩාව මේ වනවිට තම ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති බවයි ඇය පවසන්නේ.
Northbridge Golf Club හි ප්‍රධාන ගොල්ෆ් පුහුණුකරු Clinton Russell සඳහන් කරන්නේ, තරගයේ මුල් අවස්ථාවේ සිටම ඇයගේ දක්ෂතා ප්‍රතිවාදීන්ගේ අවධානයට ලක්වූ බවයි.
ඇයගේ පියා වන Kyu Sim ද හිටපු වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන අතර, තම පියා පරාජය කිරීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බවයි ඇය පවසන්නේ.
අනාගතයේදී වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩිකාවක වීමට බලාපොරොත්තු වන ඇය, මේ වනවිටත් තම පියා සමඟ ක්‍රීඩා කරන අවස්ථාවලදී බොහෝ වාරයක් ඔහු පරාජය කරන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, ඇයගේ දෙමාපියන් පවසන්නේ ජයග්‍රහණවලට වඩා මේ වයසේදී ක්‍රීඩාවෙන් සතුටක් ලැබීමට සහ ධනාත්මක අත්දැකීම් ලබාගැනීමට ඇයට අවස්ථාව ලබාදීම තමන්ගේ ප්‍රමුඛතාව බවයි.