ඔස්ට්රේලියාවේ වෙරළ තීරයන්හි Four-Wheel Drive (4WD) වාහන ධාවනය කරන රියදුරන්ට අද සිට නව සෘතුමය සීමා ක්රියාත්මක වන අතර, නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට ඩොලර් දහස් ගණනක දඩ මුදල් පැනවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
Queensland සහ Western Australia ප්රාන්තවල ජනප්රිය වෙරළ තීරයන් කිහිපයක රාත්රී කාලයේ වාහන ධාවනය සීමා කර ඇති අතර, ඇතැම් වෙරළ තීරයන් මාස කිහිපයක් සඳහා වාහනවලට සම්පූර්ණයෙන් වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම සීමා පැනවීමට ප්රධාන හේතුව වී ඇත්තේ මුහුදු කැස්බෑවන් බිත්තර දැමීම සඳහා වෙරළ තීරයන්ට පැමිණෙන සමයේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.
Queensland ප්රාන්තයේ K’gari, Cooloola සහ Inskip Peninsula යන ජනප්රිය ප්රදේශවල රාත්රී කාලයේ වෙරළ මත වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස බලධාරීන් රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම Bundaberg ආසන්නයේ Moore Park Beach වෙරළ තීරයේ අද සිට මාර්තු 31 වැනිදා දක්වා හිරු බැස යාමේ සිට හිරු උදාවන තෙක් වාහන ධාවනය තහනම් වන බව වාර්තා වනවා.
Queensland ප්රාන්තයේ නම් කරන ලද විනෝදාස්වාද රක්ෂිතවල තහනම් ප්රදේශවල වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් අධිකරණය මඟින් ඩොලර් 3,454ක් දක්වා දඩ පැනවිය හැකි අතර, වරද සහ ස්ථානය අනුව දඩ මුදල වෙනස් විය හැකියි.
මේ අතර Western Australia ප්රාන්තයේ Cape Keraudren Coastal Reserveහි Cootenbrand Creek Beach වෙරළ තීරයට නොවැම්බර් සිට මාර්තු දක්වා 4WD වාහන ඇතුළු කිරීම තහනම් වන අතර, Broomeහි ජනප්රිය Cable Beach වෙරළ තීරයට ද සෘතුමය සීමා පනවා තිබෙනවා.
Western Australia ප්රාන්තයේ මෙම නීති උල්ලංඝනය කරන ඇතැම් රියදුරන්ට අධිකරණ ක්රියාමාර්ග හරහා ඩොලර් 5,000ක් දක්වා දඩ පැනවිය හැකි බව ද වාර්තා වනවා.
මේ අතර Victoria ප්රාන්තයේ පොදු වෙරළ තීරයන්හි පෞද්ගලික විනෝදාත්මක 4WD වාහන ධාවනය දැනටමත් තහනම් කර ඇති අතර, අදාළ නීති උල්ලංඝනය කිරීම සඳහා ඩොලර් 2,091ක් දක්වා අධිකරණ දඩ පැනවිය හැකි බව සඳහන්.
වාහනවල ටයර්වලට වැලි යට පිහිටි කැස්බෑ බිත්තර විනාශ විය හැකි අතර, ටයර් සලකුණු හේතුවෙන් අලුතින් බිහිවන කැස්බෑ පැටවුන් මුහුදට ළඟාවීම ද අවහිර විය හැකියි.
එබැවින් summer නිවාඩු සමයේ වෙරළ තීරයන්හි 4WD වාහන ධාවනය කිරීමට සැලසුම් කරන ජනතාවට අදාළ ප්රදේශයේ නීති, අනතුරු ඇඟවීම් සහ වාහන ඇතුළු කිරීමේ අවසරයන් කල්තියා පරීක්ෂා කරන ලෙස බලධාරීන් දැනුම් දෙනවා.