නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයට තවත් මාසයකට අඩු කාලයක් ඉතිරිව තිබියදී, ප්රධාන දේශපාලන පක්ෂ දෙක ජනතාව වෙනුවෙන් නව මැතිවරණ පොරොන්දු ප්රකාශයට පත්කර තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll ප්රකාශ කර ඇත්තේ, ලේබර් පක්ෂය නැවත බලයට පත්වුවහොත් ප්රාන්තය පුරා නොමිලේ දන්ත වෛද්ය ප්රතිකාර ලබාදෙන සායන 20ක් ආරම්භ කරන බවයි.
මීට පෙර දන්ත සායන 10ක් ආරම්භ කිරීමට ලබාදුන් පොරොන්දුව දෙගුණ කරමින් ඉදිරිපත් කළ මෙම වැඩපිළිවෙළ යටතේ, වයස් භේදයකින් තොරව සියලුම වික්ටෝරියානු වැසියන්ට නොමිලේ දන්ත වෛද්ය සේවා ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව සඳහන්.
මෙම සායන මෙල්බන් නගරයේ Casey, Cardinia, Dandenong, Frankston, Monash, Wyndham, Melton ඇතුළු ප්රදේශවල මෙන්ම Ballarat, Bendigo, Geelong, Mildura, Shepparton සහ Latrobe Valley යන ප්රාදේශීය නගරවල ද ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර වික්ටෝරියා විපක්ෂ නායිකා Jess Wilson ප්රකාශ කර ඇත්තේ, ලිබරල් සහ නැෂනල් පක්ෂ සන්ධානය බලයට පත්වුවහොත් රැකියා ස්ථානවල සේවකයන්ට එල්ලවන ප්රචණ්ඩත්වය සහ තර්ජන වැළැක්වීම සඳහා නව නීතිමය ආරක්ෂාවක් හඳුන්වාදෙන බවයි.
ඒ අනුව සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා සහ පාරිභෝගික සේවා සපයන ආයතනවල සේවකයන්ට තර්ජනය කරන හෝ පහරදෙන පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් ආරක්ෂණ නියෝග ලබාගැනීමටත්, වින්දිතයන් වෙනුවෙන් Victoria Police වෙත එවැනි නියෝග ඉල්ලා සිටීමටත් අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
සන්ධානය මැතිවරණයෙන් ජයග්රහණය කළහොත් මෙම නව නීතිමය ප්රතිසංස්කරණ 2027 පෙබරවාරි පළමුවැනිදා සිට ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද Jess Wilson සඳහන් කර තිබෙනවා.
මේ අතර මිලියන 4.6කට අධික ඡන්දදායකයන් ලියාපදිංචි වී සිටින වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයේ පූර්ව ඡන්ද ප්රකාශ කිරීම නොවැම්බර් 18 වැනිදා ආරම්භ වන අතර, ප්රධාන ඡන්ද විමසීම නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.