AI තාක්ෂණය අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් දරුවන්ගේ සිතීමේ සහ ගැටලු විසඳීමේ හැකියාවන් දුර්වල වීමේ අවදානමක් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා.
ඔස්ට්රේලියානු ළමුන්ගෙන් 78%ක් පමණ AI සහායක මෙවලම් භාවිත කරන බව e-Safety කොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්තාවක සඳහන්. ඉන් 20%ක් දිනපතා AI භාවිත කරන අතර, 90%කට වැඩි පිරිසක් තොරතුරු සෙවීමට සහ අධ්යාපන කටයුතු සඳහා එය යොදා ගන්නා බවට හෙළි වී තිබෙනවා.
Hong Kong විශ්වවිද්යාලය සහ Stockholm විශ්වවිද්යාලය එක්ව සිදුකළ වසර දෙකක අධ්යයනයකදී, ගෙදර වැඩ සඳහා AI භාවිත කළ සිසුන්ගේ පන්ති කාමරය තුළ සිදුකළ වැඩවල ලකුණු, AI භාවිත නොකළ සිසුන්ට සාපේක්ෂව 20%කින් අඩු බවයි ඉන් අනාවරණය වී තිබෙන්නේ.
එමෙන්ම, ඔස්ට්රේලියාවේ NAPLAN විභාග ප්රතිඵල අනුව ද කියවීමේ සහ ලිවීමේ හැකියාවන් සෑම වයස් කාණ්ඩයකම පහත වැටෙමින් පවතින බවත් වාර්තා පළ වෙනවා.
ඔස්ට්රේලියාවේ හිටපු ප්රධාන විද්යාඥවරයෙකු වන වෛද්ය Alan Finkel පවසන්නේ, AI මත අධික ලෙස රඳා පැවතීමෙන් සිසුන් තමන්ගේම බුද්ධිමය හැකියාවන් භාවිත කිරීම අඩු කරන බවයි.
ගැටලු විසඳීමේ කාර්යයන් නිරන්තරයෙන් AI වෙත පැවරීමෙන් මොළයේ එම හැකියාවන් පවත්වාගෙන යාමට අවශ්ය ක්රියාකාරී සම්බන්ධතා දුර්වල විය හැකි බව ද ස්නායු විශේෂඥ මහාචාර්ය James Vickers පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, AI තාක්ෂණය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කිරීම වෙනුවට, එය තමන්ගේම සිතීමේ හැකියාවන්ට ආදේශකයක් ලෙස නොව සහායකයෙකු ලෙස භාවිත කිරීම වැදගත් බවයි විශේෂඥයන් අවධාරණය කරන්නේ.