වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන නවක සහ ආධුනික රියදුරන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට ඉතා සතුටුදායක පුවතක් වාර්තා වනවා.
ඒ ප්‍රාන්ත රජය මගින් ‘myLearners Free Lesson’ නමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබීමයි.
මේ යටතේ ආධුනික රියදුරන්ට (Learner Drivers) සහ ඔවුන් පුහුණු කරන දෙමාපියන්ට හෝ භාරකරුවන්ට නොමිලේ මිනිත්තු 60ක වෘත්තීය රියදුරු පුහුණු වාරයක් හිමිවනවා.
මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ ජීවන වියදම් හමුවේ පීඩාවට පත්ව සිටින පවුල්වලට මූල්‍යමය සහනයක් දීම මෙහි ප්‍රධාන අරමුණයි.
සාමාන්‍යයෙන් පැයක රියදුරු පුහුණු වාරයක් සඳහා ඩොලර් 100කට ආසන්න මුදලක් වැයවන අතර, මෙම වැඩසටහන හරහා පවුල් 15,000කට පමණ සහන සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මේ සඳහා සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 16ත් 19ත් අතර, පැය 10ත් 30ත් අතර රිය පැදවීමේ පුහුණුව ලබා ඇති වික්ටෝරියානු ආධුනික බලපත්‍ර හිමියන් පමණයි.
P-Plate හිමිකරුවන් ලෙස ප්‍රථම වසරේදී බරපතල මාර්ග අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාව සිව්ගුණයකින් වැඩි බැවින්, මෙමගින් ඔවුන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කිරීමට බලාපොරොත්තු වනවා.
මෙම නොමිලේ පුහුණු වාරය සඳහා ලියාපදිංචි වීම් මේ වන විටත් ‘myLearners’ නිල වෙබ් අඩවිය හරහා විවෘතව පවතිනවා.









