සිඩ්නි නුවර Parramatta River ප්‍රදේශයේ සිදුවූ සැකකටයුතු මරණ සිද්ධියකින් ඉන්දීය සම්භවයක් ඇති පවුලක් දැඩි ශෝකයකට පත්ව තිබෙනවා.
පොලිස් විමර්ශන අනුව, 47 හැවිරිදි Maulik Dhandhukia සිය හය හැවිරිදි දියණිය සමඟ බෝට්ටු ගමනකට ගොස් ඇති අතර, පසුව දෙදෙනාම ගඟට වැටී මියගොස් තිබුණා.
පියාගේ සිරුර සෙනසුරාදා දහවල් සොයාගෙන ඇති අතර, පැය හතක පමණ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව කුඩා දැරියගේ සිරුර ද සොයාගත් බවයි වාර්තා වන්නේ.
මෙම ඛේදවාචකයෙන්, බිරිඳ වන Pritiben Dhandhukia සිය සැමියා සහ එකම දියණිය අහිමිව තනිවී තිබෙනවා.
පවුලේ මිතුරෙකු විසින් ආරම්භ කළ අරමුදල් රැස් කිරීමේ වැඩසටහනක් හරහා අවමංගල්‍ය කටයුතු, ආගමික චාරිත්‍ර සහ පවුලේ හදිසි වියදම් සඳහා සහාය ලබාදීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, NSW Police පවසන්නේ මියගිය පුද්ගලයා මීට පෙර පොලිස් අවධානයට ලක්වූ අයෙකු නොවන බවයි.
එමෙන්ම, පවුල් හිංසනයක් මෙම සිද්ධියට බලපා තිබේද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් නිලධාරිනී Christine McDonald ප්‍රකාශ කළේ, මෙය “පවුලටත් සමස්ත ප්‍රජාවටත් සෑම අතින්ම දැඩි වේදනාවක් ගෙන දුන් ඛේදවාචකයක්” බවයි.









