ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වූ වෙළඳ නාම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්වීමට Optus සමාගමට සිදුව තිබෙනවා.
පසුගිය වසරේ මෙම ස්ථානයේ පසුවූ Woolworths සමාගම අභිබවා යමින් Optus මෙම තත්ත්වයට පත්ව ඇත්තේ 2025 සැප්තැම්බර් මාසයේදී සිදුවූ “triple-0” හදිසි ඇමතුම් පද්ධතියේ බිඳවැටීමත් සමඟයි.
මෙම සේවා බිඳවැටීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම, ජනතාව තුළ Optus කෙරෙහි වූ විශ්වාසය මුළුමනින්ම පළුදු වීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
Roy Morgan ආයතනයේ ප්‍රධාන විධායක Michele Levine පෙන්වා දෙන්නේ, සේවා බිඳවැටීමක් ඉතා ඉක්මනින් ජාතික මට්ටමේ අවිශ්වාසයක් දක්වා වර්ධනය විය හැකි බවට මෙය හොඳම උදාහරණයක් බවයි.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට Meta සමාගම පත්ව ඇත්තේ දත්ත රහස්‍යභාවය පිළිබඳ ගැටලු හේතුවෙනුයි.
චීන online marketplace එකක් වන Temu 3 වන ස්ථානයටත්, Woolworths සහ Coles පිළිවෙළින් 4 වන සහ 5 වන ස්ථානවලටත් පත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, Bunnings, Aldi සහ Kmart වැනි වෙළඳ නාම තවමත් ඕස්ට්‍රේලියානුවන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් සන්නාම ලෙස පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.









