ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍යයින්ගේ වීසා අයදුම්පත් සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නව සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙනවා.
2023-24 කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයින් විසින් ඕස්ට්‍රේලියාව සඳහා ඉදිරිපත් කළ සමස්ත ශිෂ්‍ය වීසා අයදුම්පත් සංඛ්‍යාව 10,860ක් ලෙස වාර්තා වූ අතර, එය 2024-25 වසරේදී 8,111ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
2025-26 වසරේ මාර්තු 31 දක්වා පමණක් අයදුම්පත් 6,238ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව තවදුරටත් පහළ යාමක් බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
උසස් අධ්‍යාපන අංශයේ (Higher Education) වීසා අයදුම්පත් 2023-24 වසරේ 8,569 සිට 2024-25දී 6,542 දක්වා අඩුවී ඇති අතර, 2025-26 මාර්තු අවසන් වනවිට එම සංඛ්‍යාව 4,930ක් ලෙස වාර්තා වී තිබෙනවා.
වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) අංශයේද දැඩි පහළ යාමක් දක්නට ලැබෙනවා.
2023-24දී 1,572ක් වූ අයදුම්පත් සංඛ්‍යාව 2024-25දී 877ක් දක්වා අඩුවී ඇති අතර, 2025-26 මාර්තු 31 වනවිට 635ක් ලෙස සටහන් වී තිබෙනවා.
විශේෂඥයින් පවසන්නේ, ඕස්ට්‍රේලියාව විසින් ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීම, මූල්‍ය සාක්ෂි සම්බන්ධ නව නීති, “Genuine Student” පරීක්ෂණය සහ වීසා ගාස්තු ඉහළ දැමීම මෙම අඩුවීමට ප්‍රධාන හේතු වී ඇති බවයි.
එමෙන්ම, ශ්‍රී ලාංකික සිසුන් සඳහා වීසා අනුමත කිරීමේ ප්‍රතිශතයද පහළ යාම හේතුවෙන් බොහෝ දෙනෙකු වෙනත් රටවල් වෙත අවධානය යොමු කරමින් සිටින බවද වාර්තා වෙනවා.









