ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා.
Telemarketing අලෙවිකරුවන්ට සතියේ දිනවල උදේ 9 සිට රාත්‍රී 8 දක්වාත්, සෙනසුරාදා උදේ 9 සිට සවස 5 දක්වාත් පමණක් ඇමතුම් ලබාදිය හැකි අතර, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල එවැනි ඇමතුම් ලබාදිය නොහැකියි.
door-to-door පැමිණෙන අලෙවිකරුවන්ට සතියේ දිනවල උදේ 9 සිට සවස 6 දක්වාත්, සෙනසුරාදා උදේ 9 සිට සවස 5 දක්වාත් පමණක් පැමිණිය හැකි අතර, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල පැමිණීමට අවසර නැහැ.
පාරිභෝගිකයෙකු “ඇමතුම නවත්වන්න” හෝ “ගෙදරින් පිටවෙන්න” කියලා පැවසුවහොත් අලෙවිකරුවා වහාම එය පිළිපැදිය යුතු අතර, door-to-door පැමිණීමක් නම් එම ව්‍යාපාරයට ඊළඟ දින 30 තුළ නැවත සම්බන්ධ වීමටද සීමා පනවා තිබෙනවා.
අලෙවිකරුවා තම නම, නියෝජනය කරන ව්‍යාපාරයේ නම සහ ලිපිනය, තමන් සම්බන්ධ වීමට හේතුව පැහැදිලිව දැනුම්දිය යුතු අතර, මිලදී ගැනීමක් සිදු වන්නේ නම් පාරිභෝගිකයාට පහසුවෙන් කියවිය හැකි ලිඛිත ගිවිසුමක් ලබාදීම අනිවාර්ය බවයි ඔස්ට්‍රේලියා පාරිභෝගික සේවා කොමිසම පවසන්නේ.
මෙවැනි අනාරාධිත අලෙවියක් හරහා ගිවිසුමකට අත්සන් කළ පසු, බොහෝ අවස්ථාවල ව්‍යාපාරික දින 10ක් ඇතුළත කිසිදු දඩයක් නොමැතිව එය අවලංගු කිරීමට පාරිභෝගිකයාට අයිතිය තිබෙනවා.
අලෙවිකරුවා නීති කඩ කළහොත් මෙම අවලංගු කිරීමේ කාලය මාස 3ක් හෝ මාස 6ක් දක්වා දිගුවිය හැකි අතර, බලපෑම් කිරීම, බලහත්කාරය හෝ අධික පීඩනය යොදාගෙන භාණ්ඩ හෝ සේවා විකිණීමද නීතිවිරෝධී බව ACCC සඳහන් කරනවා.
අනවශ්‍ය දුරකථන අලෙවිකරණ ඇමතුම් වළක්වා ගැනීමට Do Not Call Register එකට ලියාපදිංචි විය හැකි අතර, ගෙයින් ගෙට පැමිණීම් වළක්වා ගැනීමට “Do Not Knock” සලකුණක් දොරටුවේ තැබිය හැකියි.