ශාරීරික ආබාධ සහිත නිවුන් දරුවන් දෙදෙනෙකුට ගුවන් යානයක් තුළදී වැසිකිළි පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සහ බාලි දූපතේදී ඔවුන් අතරමං වීමට ඉඩහැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර සිඩ්නිහි පදිංචි පවුලක් විසින් Virgin Australia ගුවන් සේවයට සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයට එරෙහිව නඩු පවරා තිබෙනවා.
පසුගිය 2025 වසරේ ජූලි මාසයේදී බ්‍රිස්බන් සිට බාලි බලා පියාසර කළ ගුවන් යානයක් තුළදී මෙම මානව හිමිකම් උල්ලංඝනය සිදුව ඇති බවයි අධිකරණ ලේඛන මඟින් අනාවරණය වන්නේ.
මෙම නිවුන් දරුවන් දෙදෙනා ශාරීරික සමබරතාවය සහ චලන අපහසුතා සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වන අතර, ගමන් බිමන් සඳහා ඔවුන්ට wheelchair assistance අත්‍යවශ්‍ය වී තිබෙනවා.
දෙමාපියන් චෝදනා කරන්නේ, දරුවන්ට ගුවන් යානයේ ඉදිරිපස ඇති වැසිකිළිය භාවිතා කිරීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී ගුවන් සේවකයින් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ බවයි.
දරුවන්ගේ අසනීප තත්ත්වය පිළිබඳව කල්තියා දැනුම් දී තිබියදීත්, කිසිදු සහයකින් තොරව ගුවන් යානයේ පිටුපස කෙළවරට පයින් ගමන් කිරීමට දරුවන්ට බල කර ඇති බව ද ඔවුන් පවසනවා.
මේ හේතුවෙන් දරුවන් දැඩි මානසික කම්පනයකට සහ ගුවන් ගමන් පිළිබඳ අනියත බියකට පත්ව ඇති බවයි දෙමාපියන් අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ.
මීට අමතරව, 2025 අගෝස්තු මාසයේදී මෙම පවුල බාලි දූපතේ අතරමං වූ අවස්ථාවේදී නිසි රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුන් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවට (DFAT) එරෙහිව ද නඩු පවරා තිබෙනවා.
මෙම නඩුව ෆෙඩරල් උසාවියට පැමිණීමට පෙර ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම (AHRC) මඟින් ද විභාග කර ඇති අතර, එහිදී Virgin Australia ගුවන් සේවයට එරෙහි චෝදනා සාධාරණ බවත් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත නොහැකි මට්ටමක පවතින බවත් නිලධාරීන් තීරණය කළා.









