ත්‍රස්තවාදය, දේශසීමා ඉක්මවා යන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීම ඉලක්ක කරගනිමින් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ ඇමරිකාවේ FBI ආයතනය අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
වොෂින්ටන් නුවර පිහිටි FBI මූලස්ථානයේදී මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස් Krissy Barrett සහ FBI අධ්‍යක්ෂ Kash Patel විසින්.
මෙම නව ද්විපාර්ශ්වික එකඟතාවය හරහා දෙරටේ ආරක්ෂක අංශ අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ මෙහෙයුම් දියත් කිරීම සහ උපායමාර්ගික හැකියාවන් වර්ධනය කර ගැනීම වඩාත් පුළුල් ලෙස සිදු කිරීමට නියමිතයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාල, සයිබර් අපරාධ සහ නීතිවිරෝධී මූල්‍ය ගලායාම් වැනි නූතන ගෝලීය තර්ජන මැඩපැවැත්වීම සඳහා ශක්තිමත් නීතිමය සහ මෙහෙයුම් රාමුවක් මෙමඟින් නිර්මාණය වන බව AFP ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් FBI අධ්‍යක්ෂ Kash Patel සඳහන් කළේ, මෙම නව සන්ධානය හරහා ඉදිරියේදී ඒකාබද්ධ මෙහෙයුම් රැසක් ක්‍රියාවට නංවන බවයි.
මේ අතර AFP කොමසාරිස් Krissy Barrett සිය උතුරු ඇමරිකානු සංචාරය අතරතුරදී ආරක්ෂක, නීතිමය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සමඟ තවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතයි.









