ISIS සංවිධානයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සෙයිනබ් අහමඩ් නැමති කාන්තාවට ඇප ලබාදීම සම්බන්ධයෙන් මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි වාද විවාද හටගෙන තිබෙනවා.
31 හැවිරිදි මෙම කාන්තාව ප්‍රජාවට තවදුරටත් තර්ජනයක් බැවින් ඇයට ඇප ලබා නොදී තවදුරටත් බන්ධනාගාරගත කර තැබිය යුතු බවයි රජයේ නීතිඥවරුන් තර්ක කරන්නේ.
පසුගියදා සිරියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණි මෙම කාන්තාවට එරෙහිව අපරාධ සහ වහල් සේවයේ යෙදවීම ඇතුළු බරපතල චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.
ඇය 2017 වසරේදී සිය පියා සමඟ එක්ව බාලවයස්කාර Yazidi දැරියක ඇමරිකානු ඩොලර් 10,000ක මුදලකට මිලදී ගෙන වහල් සේවයේ යෙදවූ බවටයි ෆෙඩරල් පොලිසිය චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ සෙයිනබ් අහමඩ් මේ වන විට ISIS ත්‍රස්ත මතවාදයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
සිරියාවේ ගතකළ වසර 11ක කාලය තුළ තමන්ට දැඩි පීඩාවන් විඳීමට සිදුවූ බව ද ඇය පවසා තිබෙනවා.
එමෙන්ම ඇගේ 7 හැවිරිදි දියණිය දැඩි මානසික පීඩනයකින් පසුවන බැවින් ඇප කොන්දේසි මත හෝ ඇය නිදහස් කරන ලෙස ආරක්ෂක පාර්ශවය ඉල්ලා සිටිනවා.
එහෙත් රජයේ නීතිඥ Andrew Sprague ඊට දැඩි ලෙස විරෝධය පළ කළා.
ඔහු පෙන්වා දුන්නේ ඇය 2015 සහ 2016 වසරවලදී සමාජ මාධ්‍ය ඔස්සේ අන්‍යාගමිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පතුරුවා ඇති බවයි.
එම ත්‍රස්ත මතවාදයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ බවට කිසිදු නිල හෝ විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බැවින්, ඇය සමාජයට මුදා හැරීම දැඩි අවදානමක් බව ද රජයේ පාර්ශවය අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, මෙම නඩුවේ ඇප තීන්දුව ප්‍රධාන මහේස්ත්‍රාත් Lisa Hannan විසින් අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.









