මෙල්බන් සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ පෙළේ නායකයන් හමුවී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම සංචාරයේදී විජිත හේරත් ප්‍රථමයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වන මහාචාර්ය Margaret Gardner මහත්මිය හමුවී ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එහිදී වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ අභාවප්‍රාප්ත David de Kretser ඇතුළු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවන් විවිධ වෘත්තීය ක්ෂේත්‍රවලින් සිදුකර ඇති සුවිශේෂී දායකත්වය ද ඔහු සිහිපත් කර තිබෙනවා.
අනතුරුව වික්ටෝරියා අගමැතිනි Jacinta Allan ද හමුවූ විදේශ අමාත්‍යවරයා , දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, ක්‍රීඩා සහ ජනතා සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙපාර්ශ්වීය සබඳතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
එම අවස්ථාවට ආර්ථික වර්ධන හා රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Steve Dimopoulos ද එක්ව සිටියා.
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව එහි ආර්ථිකයට ලබාදෙන වැදගත් දායකත්වය මෙහිදී අග්‍රාමාත්‍ය Jacinta Allan ගේ ඇගයීමට ලක්ව ඇති අතර, ඔස්ට්‍රේලියාවේ වැඩිම ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් ජීවත් වන්නේද වික්ටෝරියා ප්‍රාන්තයේ බව ඇය සඳහන් කර තිබෙනවා.
මේ අතර මෙල්බන් Victorian Investment Centre හිදී පැවති “Sri Lanka- Victoria Industry Roundtable” අමතමින් විජිත හේරත් දෙරට අතර වෙළඳ, ආයෝජන, සංචාරක හා අධ්‍යාපනික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.
එහිදී වෙළඳ, සංචාරක, ගුවන් සේවා, යටිතල පහසුකම්, අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්‍ර නියෝජනය කරන ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයන් හමුවූ ඔහු, කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගත් නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලෙස වික්ටෝරියානු ආයෝජකයන්ට ආරාධනා කළා.
එමෙන්ම ශ්‍රී ලංකාව ආරක්ෂිත, ආකර්ෂණීය සහ ඉහළ සංචාරක විභවයක් සහිත ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වික්ටෝරියානු රජයේ සහාය ද අපේක්ෂා කරන බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේවෙතත් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 79ක් සපිරෙන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව සහ වික්ටෝරියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වයම කැපවී සිටින බවද මෙම හමුවීම්වලදී පැහැදිලි වී තිබෙන බවටයි වාර්තාවන්නේ.









