බටහිර ඔස්ට්රේලියානු ප්රාන්තයේ ප්රධාන විශ්වවිද්යාල තුනක් ඒකාබද්ධ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.
University of Western Australia (UWA), Curtin University සහ Murdoch University යන විශ්වවිද්යාල තුන එක් ආයතනයක් බවට පත්කිරීම මෙම යෝජනාවේ අරමුණයි.
ප්රාන්තයේ උසස් අධ්යාපන අමාත්ය Tony Buti ප්රකාශ කරන්නේ ඇතැම් විශ්වවිද්යාල සිසුන්ට ප්රමාණවත් ගුණාත්මක අධ්යාපනයක් නොලැබෙන බවත්, ඇතැම් සිසුන්ට 10 වැනි ශ්රේණියේ මට්ටමේ පාඩම් පවා උගන්වන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි.
විශ්වවිද්යාල පාඨමාලා සම්පූර්ණ කරන සිසුන්ගේ අනුපාතය පහළ මට්ටමක පැවතීම, විශ්වවිද්යාල ප්රධානීන්ගේ ඉහළ වැටුප් සහ අධ්යාපන සම්පත් අකාර්යක්ෂමව භාවිත කිරීම ද අමාත්යවරයාගේ විවේචනයට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ඒකාබද්ධ කිරීමෙන් සිසුන්ට ඇති අධ්යාපන ගැටලු විසඳෙන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්යවරයා පැහැදිලි පිළිතුරක් ලබාදී නැහැ.
මේ අතර, Curtin සහ Murdoch විශ්වවිද්යාලවල ප්රධානීන් මෙම යෝජනාවට විරෝධය පළකර ඇති අතර, විශ්වවිද්යාල තුන ඒකාබද්ධ කළහොත් සිසුන් 120,000කට ආසන්න සංඛ්යාවක් සහිත දැවැන්ත විශ්වවිද්යාලයක් නිර්මාණය වන බව සඳහන්.
මෙවැනි ඒකාබද්ධ කිරීමකින් සිසුන්ගේ අධ්යාපන තේරීම් සීමාවීම, රැකියා අහිමිවීම සහ අධික වියදම් ඇතිවීමේ අවදානමක් පවතින බවද විශ්වවිද්යාල බලධාරීන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, විශ්වවිද්යාල ඒකාබද්ධ කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, 2027 වසරේ මැද භාගය වනවිට අපේක්ෂිත ශක්යතා සහ ව්යාපාරික ඇගයීම්වල ප්රතිඵල අනුව ඉදිරි තීරණ ගන්නා බව ප්රාන්ත රජය ප්රකාශ කර තිබෙනවා.
මේ අතර, මෙම යෝජනාවට විරෝධය පළකරමින් සිසුන් සහ විශ්වවිද්යාල සේවකයන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට ද නියමිතයි.