ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines ඉලක්ක කරගනිමින් සිදුවූ බවට වාර්තා වන ප්රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක Angus Taylor සිය දැඩි කනගාටුව සහ කම්පනය පළ කර තිබෙනවා.
“Helen වෙනුවෙන් මම ප්රාර්ථනා කරනවා. ඇගේ පවුලේ සාමාජිකයන් සහ ආදරණීයයන් ගැනත් මම සිතනවා. මෙය අපේ රටට ඉතා කම්පන සහගත දිනයක්. කිසිවෙකුට මේ ආකාරයෙන් ඉලක්ක කරනු ලැබීමට සිදු නොවිය යුතුයි සහ Wangarattaහි ඇගේ මැතිවරණ කාර්යාලය අසලදී Helen එල්ල වූ ප්රහාරය පිළිබඳව ඔස්ට්රේලියානුවන් කෝපයටත් දැඩි කම්පනයටත් පත්වනු ඇති. ප්රචණ්ඩ ප්රහාර සාමාන්ය දෙයක් බවට පත්වන රටක් බවට ඔස්ට්රේලියාව පත් නොවිය යුතුයි.” යන්න විපක්ෂ නායකවරයා ප්රකාශ කර තිබෙනවා.
එමෙන්ම තමන් අග්රාමාත්යවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, දේශපාලන ප්රචණ්ඩත්වය කිසිවිටෙකත් මහජන ජීවිතයේ පිළිගත හැකි කොටසක් නොවිය යුතු බවට දෙපාර්ශ්වයම එකඟ වන බවත් Angus Taylor ප්රකාශ කළා.
Helen Haines, ඇගේ පවුලේ සාමාජිකයන් සහ උතුරු-නැගෙනහිර Victoria ප්රදේශයේ ජනතාව මෙම දුෂ්කර අවස්ථාවේදී මුළු රටේම සහයෝගය සහ සිතුවිලි සමඟ සිටින බව ඔවුන් දැනගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ ප්රාදේශීය පාර්ලිමේන්තු මන්ත්රීනී Helen Haines වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්රාන්ත අගමැති Ben Carroll සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.
මෙම සිදුවීම “ප්රචණ්ඩ ප්රහාරයක්” ලෙස හඳුන්වමින් ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව තමන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බවයි.
“මෙය Wangaratta ප්රජාවටත්, Helen නියෝජනය කරන සියලු දෙනාටත් කොතරම් වේදනාකාරී සිදුවීමක් වනු ඇත්දැයි මට වැටහෙනවා,” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්රකාශ කර තිබුනා.
එමෙන්ම Helen Haines මන්ත්රීවරියට, ඇගේ පවුලේ සාමාජිකයන්ට සහ Victoria ප්රාන්තයේ සියලු දෙනාට තමන්ගේ ශෝකය සහ සහයෝගය පළ කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කඩිනමින් ක්රියාත්මක වීම පිළිබඳවද ප්රාන්ත අගමැතිවරයා සිය ස්තූතිය ද පළ කර සිටියා.
පොලිසියට අනුව, Wangaratta නගරයේදී වාහනයක ගැටීමෙන් මන්ත්රීවරිය තුවාල ලබා ඇති අතර, සැකකරු පොලිසිය පැමිණීමට පෙර එහි සිටි පුද්ගලයෙකු විසින් අල්ලාගෙන තිබෙනවා.
සිද්ධිය හිතාමතා සිදුකළ ක්රියාවක්ද සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්රියාත්මකයි.