Victoria ප්රාන්තයේ රජයේ පාසල්වල අධ්යාපනය සඳහා දෙමාපියන්ගෙන් ලබාගන්නා දායක මුදල් අනිවාර්ය නොවන බව පැහැදිලි කරන ලෙස පාසල් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ප්රාන්ත අධ්යාපන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විෂයමාලාවට අදාළ ඉගැන්වීම්, ඒ සඳහා අවශ්ය සම්පත් සහ සේවාවන් සිසුන්ට නොමිලේ ලබාදිය යුතු බවයි.
ඒ අනුව, පාසල්වල අධ්යාපන වැඩසටහන් සහ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දෙමාපියන්ගෙන් ස්වේච්ඡා දායක මුදල් ඉල්ලා සිටිය හැකි වුවත්, ඒවා ලබාදීම අනිවාර්ය නැහැ.
එමෙන්ම, දායක මුදල් ලබා නොදීම හේතුවෙන් සිසුන්ට විෂයමාලාවට අදාළ ඉගැන්වීම් හෝ අත්යවශ්ය අධ්යාපන සම්පත් අහිමි කළ නොහැකි බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, විෂයමාලාවට අනිවාර්ය නොවන ඇතැම් විනෝද චාරිකා, කඳවුරු සහ අමතර ක්රියාකාරකම් සඳහා ගෙවීම් ඉල්ලා සිටීමට පාසල්වලට අවසර තිබෙනවා.
මේ අතර, දෙමාපියන්ගෙන් ලැබෙන දායක මුදල් අඩුවීමෙන් පාසල්වල අමතර වැඩසටහන් සහ අධ්යාපන සම්පත් පවත්වාගෙන යාමට අපහසුතා ඇතිවිය හැකි බවට පාසල් ප්රධානීන්ගේ සංගමය කනස්සල්ල පළ කර තිබෙනවා.
මෙම ප්රතිපත්ති වෙනස්කම් 2027 පාසල් වර්ෂය සඳහා සකස් කරන දායක මුදල් ඉල්ලීම්වලට අදාළ වන අතර, ජීවන වියදම් පීඩනය හමුවේ දෙමාපියන්ට සහනයක් ලබාදීම මෙහි අරමුණක්.