පියයුරු පිළිකාවක් හේතුවෙන් සැත්කමකට මුහුණ දුන් කාන්තාවන්ට කෘත්රිම බාහිර පියයුරු මිලදී ගැනීම සඳහා වැයවන මුදලින් කොටසක් නැවත ලබාගැනීමට ඔස්ට්රේලියානු රජය මඟින් ක්රියාත්මක කරන විශේෂ සහන වැඩසටහනක් පවතිනවා.
External Breast Prostheses Reimbursement Program නමින් හඳුන්වන මෙම වැඩසටහන යටතේ එක් පියයුරක් සඳහා ඩොලර් 400ක් දක්වාත්, පියයුරු දෙකම ඉවත් කළ කාන්තාවන්ට ඩොලර් 800ක් දක්වාත් වියදම් ප්රතිපූරණයක් ලබාගත හැකියි.
මෙම සහනය සාමාන්ය බාහිර කෘත්රිම පියයුරු සඳහා පමණක් නොව, පිහිනීමේදී භාවිත කරන විශේෂ කෘත්රිම පියයුරු මිලදී ගැනීම සඳහා ද ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.
මෙම වැඩසටහනට සුදුසුකම් ලැබීමට Medicareහි ලියාපදිංචි වී සිටීම, පිළිකාවක් හේතුවෙන් පියයුරු සැත්කමකට මුහුණ දී තිබීම සහ පසුගිය වසර දෙක තුළ මෙම වැඩසටහන යටතේ මිලදී ගැනීමක් සඳහා මුදල් ප්රතිපූරණයක් ලබාගෙන නොතිබීම අවශ්ය වනවා.
පියයුරු දෙකම ඉවත් කිරීමේ සැත්කම් (Double Mastectomy), පිළිකා අවදානම අවම කිරීම සඳහා සිදුකරන වැළැක්වීමේ සැත්කම් (Prophylactic Mastectomy), පියයුරක කොටසක් ඉවත් කිරීමේ සැත්කම් (Partial Mastectomy) සහ පිළිකා ගැටිත්තක් ඉවත් කිරීමේ සැත්කම් (Lumpectomy) මෙම වැඩසටහනට ඇතුළත් වනවා.
පියයුරු පිළිකා ප්රතිකාරවලින් පසුව සාමාන්ය ජීවිතයට නැවත හුරු වීමට උත්සාහ කරන කාන්තාවන්ට මෙම සහනය මූල්යමය වශයෙන් වැදගත් සහායක් වන අතර, සුදුසුකම් සපුරාලන පුද්ගලයන්ට Services Australia හරහා අදාළ මුදල් ප්රතිපූරණය සඳහා අයදුම් කළ හැකියි.
වැඩසටහනට අදාළ සුදුසුකම්, කොන්දේසි සහ අයදුම් කිරීමේ ක්රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු Services Australia නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර, මෙය ස්වයංක්රීයව ලබාදෙන දීමනාවක් නොව සුදුසුකම් අනුව මිලදී ගැනීමේ වියදම් ප්රතිපූරණය කරන වැඩසටහනක් බව ද සඳහන්.