නූතන ඔස්ට්රේලියාව ගොඩනැගීම සඳහා විදේශ රටවලින් පැමිණි සංක්රමණිකයන් විශාල දායකත්වයක් ලබාදී ඇති බව ඔස්ට්රේලියානු අග්රාමාත්ය Anthony Albanese පවසනවා.
කැන්බරා නුවර පැවැත්වෙන Federation of Ethnic Communities’ Councils of Australia (FECCA) ජාතික සමුළුව අමතමින් අග්රාමාත්යවරයා මෙම අදහස් පළ කර ඇති අතර, එම පණිවිඩය සිය නිල සමාජ මාධ්ය ගිණුම ඔස්සේ ද ප්රකාශයට පත් කර තිබෙනවා.
ඔස්ට්රේලියාවේ ආර්ථික සංවර්ධනය, ව්යාපාරික ක්ෂේත්රය, සෞඛ්ය සේවය, ඉදිකිරීම් සහ අනෙකුත් කර්මාන්තවල වර්ධනය සඳහා විවිධ රටවලින් පැමිණි සංක්රමණිකයන් සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙනවා.
ඔස්ට්රේලියාවේ බහු සංස්කෘතික සමාජය ගොඩනැගීම සඳහා සංක්රමණික ප්රජාවන්ගේ දායකත්වය වැදගත් වන අතර, ඔවුන් රටේ ආර්ථිකයට මෙන්ම සමාජීය සහ සංස්කෘතික ජීවිතයට ද දායක වී ඇති බවයි FECCA සංවිධානය අවධාරණය කරන්නේ.
ඔක්තෝබර් 14 සිට 16 දක්වා පැවැත්වෙන මෙම සමුළුවට විවිධ ජනවාර්ගික ප්රජාවන් නියෝජනය කරන නායකයන්, දේශපාලනඥයන්, ව්යාපාරිකයන් සහ ප්රජා සංවිධාන නියෝජිතයන් සහභාගි වනවා.
මේ අතර ඔස්ට්රේලියාවේ සංක්රමණිකයන්ගේ සංඛ්යාව සීමා කිරීම, නිවාස හිඟය සහ ජීවන වියදම් සම්බන්ධයෙන් දේශපාලන විවාදයක් පවතින අතර, සංක්රමණිකයන්ගේ දායකත්වය පිළිගන්නා අතරම රටේ අවශ්යතා අනුව සංක්රමණ ප්රතිපත්ති සකස් කළ යුතු බව FECCA සංවිධානය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් අග්රාමාත්යවරයාගේ මෙම ප්රකාශය ඔස්ට්රේලියාවේ සංක්රමණ ප්රතිපත්ති පිළිබඳ සාකච්ඡා දැඩි වී ඇති අවස්ථාවක සිදුකර තිබීම ද විශේෂත්වයක්.