Pauline Hanson නායකත්වය දරන One Nation පක්ෂයට ලැබෙන මහජන සහයෝගය අඛණ්ඩව ඉහළ යාමත් සමඟ අගමැති Anthony Albaneseගේ Labor රජය ඉදිරියේ නව දේශපාලන අභියෝගයක් නිර්මාණය වී තිබෙනවා.
මහජන මත විමසුම්වල One Nation පක්ෂයට ලැබෙන සහයෝගය ඉහළ මට්ටමක පැවතිය ද ඒ සම්බන්ධයෙන් තමන් කලබලයට පත්ව නොමැති බව අගමැති Albanese ප්‍රකාශ කර ඇති අතර, රජයේ අවධානය යොමුව ඇත්තේ ඔස්ට්‍රේලියානු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම කෙරෙහි බවයි ඔහු සඳහන් කරන්නේ.
ඉහළ යන ජීවන වියදම, උද්ධමනය සහ 2026 වසර තුළ සිදුවූ පොලී අනුපාත ඉහළ දැමීම් හේතුවෙන් ජනතාව මූල්‍ය පීඩනයට පත්ව සිටින අතර, මෙම තත්ත්වය ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ විශ්වාසයට බලපෑම් කර ඇති බව වාර්තා වනවා.
මේ අතර භාණ්ඩාගාරික Jim Chalmers අනතුරු අඟවා ඇත්තේ One Nation පක්ෂයට සහයෝගය දක්වන ජනතාව නොසලකා හැරීම හෝ ඔවුන්ගේ දේශපාලන අදහස් අවඥාවට ලක් කිරීම Labor පක්ෂය විසින් නොකළ යුතු බවයි.
ජනතාවගේ ආර්ථික අපහසුතා සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය One Nation පක්ෂයට ලැබෙන සහයෝගය ඉහළ යාමට බලපා ඇති බවත්, එම පක්ෂයේ ජනප්‍රියත්වය ඉබේම පහත වැටෙනු ඇතැයි බලා සිටීම සුදුසු ප්‍රතිචාරයක් නොවන බවත් Chalmers පෙන්වා දී තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බදු ප්‍රතිසංස්කරණ, නිවාස ප්‍රතිපත්ති සහ ආර්ථික වෙනස්කම් හරහා ජනතාවට සැබෑ ප්‍රතිලාභ ලබාදීමට රජය සමත් විය යුතු බවයි.
මේ අතර ව්‍යාපාර පවත්වාගෙන යාමේ ප්‍රායෝගික අත්දැකීම් නොමැති දේශපාලනඥයන් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබාදීමට උත්සාහ කරන බවයි Albanese රජයේ ආර්ථික කළමනාකරණය දැඩි ලෙස විවේචනය කරමින් Pauline Hanson පවසා ඇත්තේ.
අගමැති Albanese පවසන්නේ 2028 වසරේ පැවැත්වීමට නියමිත මීළඟ ෆෙඩරල් මැතිවරණයට පෙර ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම, උද්ධමනය පාලනය කිරීම සහ දිගුකාලීන ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණු වන බවයි.
කෙසේ වෙතත් One Nation පක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ යාමත් සමඟ Labor, Liberal සහ National පක්ෂ අතර පවතින දේශපාලන තරගයට නව ස්වරූපයක් එක්ව ඇති අතර, ඉදිරි මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ආර්ථික ගැටලු තීරණාත්මක සාධකයක් විය හැකි බව දේශපාලන විශ්ලේෂණවලින් පෙන්වා දෙනවා.